අමර සර සිරි... සිරි සිරිපොද වැස්ස

අමර සර සිරි... සිරි සිරිපොද වැස්ස


අමරණීය අමර සර යළි නැඟී නෙළුම් පොකුණ සිසාරා මියුරු සරින් දෝංකාර දෙන්නට පටන්ගත්තේය. මහා අත්පොළසන් හඩකින් නෙළුම් පොකුණෙහි නෙළුම් මල් පියලි පමණක් නොව නෙළුම් පොකුණෙහ් හතර වට ඇති බිත්ති පවා දෙදරුම්කා ගියේය.අසූපස් විය පසු කළද තවමත් සිය හඬ පෞරුෂයේ තාරුණ්‍යය ද ශබ්ද මාධුර්යයද අංශු මාත්‍රයකිනු දු බිඳ වැටෙන්නට ඉඩ නොදුන් මේ අසාමාන්‍ය දැවැන්ත ප්‍රතිරූපයක් ඇති පුංචි මිනිසාට අත්පොළසමක් දෙන්නට වරමක් ලැබීමට තරම් මම වාසනාවන්තයෙකු වූයෙමි.
වාලුකා කාන්තාරයේ ගිනියම් වැලි පොළොවේ රස්නයෙන් මගේ දෙපා පතුල් හි දිය බුබුළු මතුවී තිබිණි. ඒවායින් නැඟෙන ඉවසාගත නොහැකි වේදනාවෙන් මගේ අධ්‍යාත්මය අඩපණ වී ඇත්තාසේ ය.
දෙපතුල් දොවා ගන්නට දිය කඩිත්තක් සොයමින් මම වාලුකා කාන්තාරයේ අනන්තයෙහි පෙනෙන මිරිඟුදිය දිස්වෙන ඉසව්ව වෙත පියමං කරමින් සිටියෙමි. තණපතක දැවටුණු පිනිපොදක තෙත පහසවත් නොලැබිණි. (වැලි කතරක, තණපතක පහස කෙසේ නම් ලබන්නදැයි පසුව මට සිතිණි. එය හුදු ස්වප්න මායාවක් පමණි.)
එහෙත් දකිමින් සිටි ස්වප්න මායාව, සැබෑවක් වූ අසිරිමත් මොහොතක් උදාවිය. නෙළුම් පොකුණක් මත සිරිපොද වැහි බිංදු වැටෙමින් තිබුණේය. නෙළුම් පත් සිලි සිලි රිද්මයෙන් සලිත වෙමින් වස්සානයේ සමූහ ගීතය ගායනා කරමින් සිටියේ ය.
මම නෙළුම් පොකුණෙහි ඉවුර අසබඩ තණ බිස්සක සුවපහසුව වාඩිගත්තෙමි. මගෙ දෙකම්මුල් නොව දෙසවන් මතට ද වස්සානයේ වැහි බිංදු පතිත වන්නට විය.

”ඈත කඳුකර හිමවි අරණේ
සීත චන්දන ලපලු සෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ”


සැබැවින් ම ඔහුගේම හඬෙහි මධුර දෝංකාරය මතින් ඔහුගේ ම නාමය පාවී ආවේය.
”අමරදේව“
නෙළුම් පොකුණ වටා සිටි සුවහසක් ජනයා එකම සුසුමකින් අමරදේවයන් සමඟ ඒකාත්මික වන්නට පටන් ගත්තේ, ඔහුගේ රුව දුටු පළමු තත්පරයේ සිටය.
අසූපස් වියැති අමරදේව හඬ විසිවයස් තාරුණ්‍යයේ ප්‍රේමණීය දෝංකාරය පොද වැස්සක් බවට පත්ව ආධ්‍යාත්මයේ පත්ලෙහි සිට රසික ජන මුව විට දක්වා වූ ඉඩහසර මෝහනීය මධුර ස්වරයෙන් පුරවාලන්නට පටන්ගත්තේය.

”ජගන් මෝහිනී
මධුර භාෂිණි
චාරු දේහිනී
කමල වාසිනී”


ඔව්.. ඒ තාරුණ්‍යයේ චමත්කාරජනක කටහඬ මැයි... මෝහනීය සර බිඳකින්වත් පලුදු වී නොමැත්තේය. රසික ජනයා දැහැන්ගත වූ ආනන්දනීය හෝරාව එළැඹියේය.

”සන්නා ලියනේ
සන්නා ලියනේ
මේ හිමිදිරි උදයේ...”


නෙළුම් පොකුණෙහි විසල් වේදිකා මණ්ඩපය මොනවට හැඩගැන්වී තිබිණි. එහි තැන තැන වාඩිගෙන සිටි සන්නාලි ළඳුන් පොකුර සීරුවට සළුවක් වියමින් සිටියහ.

”සැන්දෑ අහසේ සුදුමැලි පාටින්
සීතල සළුව වියන්නේ
මියගිය ඇයගේ මිනිය වසන්නයි
සීතල සළුව වියන්නේ”


අමරදේවයන් සමඟ ඒකාත්මික වන්නට සේකරයෝ ද නෙළුම්පොකුණට ප්‍රාදුර්භූත වූහ.

”පිය සබඳ ගතින් වෙන්වුවද
සැමදා මම ඔබ ආත්මය තුළ
නිසොල්මන්ව සිටියෙමි”


වසන්තය උදාවී ඇත. මම ඈත අහස දෙස බලා සිටිමි. සිහින් මල් පියල්ලක් මඳ සුළඟේ පාවී පාවී අවුත් මගේ දෝත මතට නොව ආධ්‍යාත්මය මතට වැටිණි.
එහි පහස කෙතරම් සියුමැලි වීද යත් මගේ දෑස් අඩවන් විය. ආධ්‍යාත්මය සියුමැලි බවින් පිරෙන්නට පටන්ගත්විට ගොරෝසු කඩතොලු සියල්ල පිරිමැදී සුමටවී ගියේය. සියුම් බව පමණක් ම ශේෂ විය. ඒ සියුම් ආධ්‍යාත්මය පුරාම මනෝරම්‍ය දෝංකාරය යළි නැඟෙන්නට පටන් ගත්තේය.

”වසන්තයේ මල් කැකුළු නෙලාලා
ඔබ මා දෝතට ගෙනෙනතුරා
මඟ බලමින් මා සිටියා
සොඳුරු වසන්තය ගෙවෙන තුරා

අහස පොළොව ගිනියම් අව්වේ
ගහකොළ මැලැවෙන ගිම්හානේ
අවසානේ ඔබ ආවා
ඔබ අතැවු මල් එකිනෙක පරවී
සුළඟේ විසිරෙනු මා දුටුවා
සුළඟේ විසිරෙන ඒ මල් අතරින්
ඔබගෙ රුව මා දුටුවා

”සහෘදය දැහැනින් මිදෙන්න”
හඬක් ඇසී මම දැහැනින් මිදුනෙමි.


”අමරදේව ගයන ගී අසන්න.. ඔහු දෙස බලන්න. කුඩා රූපකාය තුළ තෘප්තියෙන් වෙසෙන මහා ගාන්ධර්වයා දකින්න. මහා දැවැන්ත සිරුරුවලින් යුත් ඇතැම් පුරුෂ ගායකයන් ස්ත්‍රී හඬින් ගී ගයද්දී මේ කුඩා සිරුරෙන් නැඟෙන මහා හඬ පෞරුෂයට සවන් දෙන්න.”
මහගමසේකරයෝ, මානවසිංහයෝ පමණක් නොව ඩෝල්ටන් අල්විස් හුද මට කියන්නට වූහ.
මම ඔවුන් දෙස බැලුවෙමි. එහෙත් ඔවුන් පෙනෙන්නට සිටියේ නැත.
”සංගීත ක්‍ෂේත්‍රය මෙන්ම පදමාලා ක්‍ෂේත්‍රය ද මිය ඇදෙන්නට පෙර අපි සමුගෙන පැමිණියෙමු.”
ඔවුහු තව්තිසාවෙහි සිට මට කීහ.
”අමරදේවයන් ගැයූ ගීතය නෙළුම් පොකුණෙහි ගයන්නට මහාචාර්ය සනත් නන්දසිරි”
ජැක්සන් ඇන්තනි වෙන කවරදාටත් වඩා සංවර සහ ගෞරවාන්විත රිද්මයකින් නෙළුම් පොකුණ සිසාරා නැඟෙන ගීතමය දියරැල්ල මැනවින් මෙහෙය වීය.
සනත් ගේ ගැඹුරු හඬ ගාම්භීර සරකින් නැඟෙන්නට පටන් ගත්තේය.

”මහ වැස්සට පෙර නිමිති පෙනෙනවා
කවුළුව අතරින් සිරකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට
යන්නට ඕනෑ කඩ මංඩිය වෙත”


අපි මල්පැණි වඩියක රස පහස ලබන්නට කඩමංඩිය වෙතට නොගොස් නෙළුම් පොකුණෙහි කන්ඩිය මත වාඩිගෙන සිටියෙමු. සනත් ගේ හඬ වියැකී ගියේය.
”අපි කැමතියි ගුරු අමරදේවයිනි ඔබතුමාගේ ම හඬින් එම ගීයෙහි පදයක් දෙකක් අසන්නට..”
නෙළුම් පොකුණු කණ්ඩිය මත වාඩිවී සිටි රසික ජනයාගේ පැතුම ඉවෙන් මෙන් දැන ජැක්සන් යළි වඩාත් සංවරව ආයාචනාත්මකව සහ ගෞරවාන්විතව ඉල්ලා සිටියේය.

”පාරට බැස්සම නොවැ සීතල වැඩි
තනිකම ඊට වැඩීයි
එපා එපා මී විත මගෙ දෙතොලට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා”


අමරණීය අමර සර යළි නැඟී නෙළුම් පොකුණ සිසාරා මියුරු සරින් දෝංකාර දෙන්නට පටන්ගත්තේය. මහා අත්පොළසන් හඩකින් නෙළුම් පොකුණෙහි නෙළුම් මල් පියලි පමණක් නොව නෙළුම් පොකුණෙහ් හතර වට ඇති බිත්ති පවා දෙදරුම්කා ගියේය.
අසූපස් විය පසු කළද තවමත් සිය හඬ පෞරුෂයේ තාරුණ්‍යය ද ශබ්ද මාධුර්යයද අංශු මාත්‍රයකිනු දු බිඳ වැටෙන්නට ඉඩ නොදුන් මේ අසාමාන්‍ය දැවැන්ත ප්‍රතිරූපයක් ඇති පුංචි මිනිසාට අත්පොළසමක් දෙන්නට වරමක් ලැබීමට තරම් මම වාසනාවන්තයෙකු වූයෙමි.

”පිලේ පැදුර හේනට අරගෙන යනවා
එළා පැදුර මැස්සේ එහි සැතපෙනවා”


ඒ මොහොතෙහිදී එක් පදයක් අමතකව ගොස් අමරදේවයන්ගේ මිමුණුම් හඬ ඇසෙන්නට පටන්ගත්තේය. ඒ හදිසි මිමුණුම් හඬ එතෙක් මෙතෙක් අප අසා ඇති සියලු පද ගායනාවන්හි ගැබ්වූ මාධුර්යය පරාජය කළේය. අපි ඒ අසමාන මිමිණුම් හඬින් දැහැන්ගතව දෑස් පියා ගත්තෙමු.
අමරදේවයිනි ඔබේ මිමුණුම් හඬ අපේ ආධ්‍යාත්මය පුරා විසිර වූ මනෝරම්‍ය රංජනය අප කිසිදාක අත් විඳ නැත.
”අමරදේව භාෂා ප්‍රවීණයෙක්. අතිශය සංවේදී මිනිසෙක්. ඔහුගේ ගැයුම ;මන් ම පද බැඳුම ද අද්විතීයයි.”
පූරක ජැක්සන් එපරිදි පවසා වඩාත් අප කුතුහලයට පත් කළ ප්‍රකාශය ඉදිරිපත් කළේ මෙසේයි.
”ගුරු අමරදේවයන් අතින් ලියැවුණු පරම්පරා ගණනාවක රසික ජන සමූහයා කුල්මත් කළ මනබන්ධනීය ශාන්ත මේ රෑ යාමේ ගීය ගයන්නට අමරදේවයන් සමඟ එක්වන්නේ කවුරුන්ද... මම නොකියමි. බලන්න... විඳගන්න.. ඒ අසිරිමත් අත්දැකීම.”
තමන් සමඟ “ශාන්ත මේ රෑ යාමේ” ගයන්නට එන්නේ කවුරුන්දැයි දැකගන්නට අමරදේවයෝ ද වටපිට බලන්නට වූහ.
ශාන්ත මේ රෑ යාමේ ගීතයේ හඳුන්වාදීමේ සංගීතය ද ඇරැඹිණි. එහෙත් කිසිවෙක් වේදිකා මණ්ඩපයට අවතීර්ණ වී නොමැත.
වේදිකා මණ්ඩපය පසෙකින් තනා තිබුණු පිය ගැට පෙළ බසින සුදු ඇඳගත් තරුණයන් තිදෙනෙකි.
”මේරියන්ස් නලීන්”
මා අසල අසුනෙහි සිටි සහෘදයා ඔහුගේ මිතුරාට කියනු මට ඇසිණි.
පොපියන තාරුණ්‍යයේ සිහින ගායකයා නලීන් පෙරේරා පැමිණ අමරදේවයන්ට නමස්කාර කළ අයුරු... සහ ශාන්ත මේ රෑ යාමේ ගීය ගැයූ අයුරු නොව ම සිතෙහි වඩාත් සංවේදී තැනෙක ශේෂ වූයේ ඔහුගෙන් පිටවුණු මේ මනබැන්දූ වචන කිහිපයයි.
”අමරදේව සර් අපට මුලින් හමුවුණා නම් අප ඉන්නේ අද සිටින තැන නොවෙයි. වඩාත් උත්කර්ෂවත් තැනක. අමරදේව සර් ගේ ගායනයට දහස් වාරයක් වන්දනා කරනවා නම් එතුමාගේ නිහතමානීකමට දස දහස්වාරයක් වන්දනා කරනවා.”
නලින්ගේ ඒ වදන් මුතු ඇටසේ ඇමිනෙන්නට වූ කල්හි නැඟෙන්නටවූ අත්පොළසන් හඬට යළිත් වරක් නෙළුම් පොකුණෙහි විසල් ද්වාරයන් පවා සලිත වී ගියේය.
වික්ටර්, සුනිල්, නන්දා, නීලා, නිරෝෂා මතු නොව පුත් රංජන්, දූ සුභානි ගේ හඬ සමඟ වැටුණු සිරිපොද නිමා විණි. නෙළුම් පොකුණෙහි ඉවුර මතින් අපි නැඟී සිටියෙමු.
පිටත පරිසරය වෙනස්ය. දැහැන බිඳී ගොසිනි. වාහන හඬ ඇසේ. අතොරක් නැතිව කන්කරච්චලය පැතිරෙයි.
එහෙත්... ඒ කන්කරච්චලය මොහොතකට නිහඬ කොට යළිත් ඒ අපූර්ව හඬ දෝංකාර දෙන්නට පටන්ගත්තේය.
”නිම් හිම් සෙව්වා මා සසරේ...”
අමරදේවයන්ගේ සුගායනීය ගැඹුරු හඬ සමඟ තවත් ගැඹුරු හඬක් නින්නාද වෙමින් තිබිණි. ඒ නිමල් මෙන්ඩිස්ගේ හඬයි. ඔහු “නිම්හිම් සෙව්වා මා සසරේ” ගීතයට ඉපදෙන්නට අත්වැල් දුන් ඉංගි‍්‍රසි ගීතය ගයන්නට විය.
නිම්හිම් සෙව්වා මා සසරේ” කොළඹ පුරවරයේ වාහන නළාහඬ යටපත්කොට අමරණීය අමරහඬ දෝංකාර දෙන්නට විය.
අමරදේවයන් පිළිබඳ බොහෝ අය නොදන්නා හයිකු සම්ප්‍රදායයේ කවියක් ම සිතට කඩාපැන්නේ මහත් වූ ප්‍රහර්ෂයකිනි. ඒ බර්ටි ජයසේකරගේ “සුන්වූ කැටපත්” නම් කාව්‍ය සංග්‍රහයේ අන්තර්ගතවූවකි.

”ඉපිද මැරේ.. යළි ඉපිදේ..”
අමරදේවත් කියන කියුමක් 


නෙළුම්පොකුණ පරිශ්‍රයේ ප්‍රධාන ද්වාරය අසල සිට පවසමි.
”ගුරු අමරදේවයිනි.. ඔබ කිසි දිනෙක මිය යන්නේ නැත. සරච්චන්ද්‍රයන් ඔබට අමරදේව යයි නම් තැබුවේ නිකමට නොවේ.”

 කසුරි

උපුටා ගැන්ම - සිළුමිණ පුවත් පත (http://www.silumina.lk/2012/12/09/_art.asp?fn=af1212094

No comments:

Post a Comment