F ෴ අමර සර සිරි ෴: පුවත් පත් ලිපි.
Showing posts with label පුවත් පත් ලිපි.. Show all posts
Showing posts with label පුවත් පත් ලිපි.. Show all posts

සෙවනැලි මිය යන හැන්දෑවේ අතීතයට යන සොඳුරු මිනිසා


amaradewa01
 
හීන් හඬින් ගයන මේ ගීතය තුළ වූ භාවාත්මක බව මොහොතකට මේ සොඳුරු වූ මිනිසාගේ දෑස් තෙත් කරමින් ඇඳී මැකී යන යුරු හොඳින්ම දුටුවේ  කැමරා ඇස යැයි කිවහොත් එහි වරදක් නැත. මොහොතකට නිහඬ බව හා ඒකාත්මික වෙන්නට ලද අවසරය නිමාකොට, පණ්ඩිත් අමරදේවයන් හඬ අවදිකරන්නට විය. මේ ඔහුගේ හඬයි.
amaradewa 
මගේ සංගීත දිවියේ පිටුපස මගේ තාත්තා යෝධ සෙවනැල්ලක්. මගේ හත්වැනි උපන්දිනයට ඔහු මට ගෙනැවිත් දුන්නෙ වයලීනයක්. මං මේ වයලීනය වාදනය කරද්දි මගේ තාත්තා රස වින්ඳේ දරු සෙනෙහස කියලා මං හිතනවා... මමත් අද තාත්තා කෙනෙක්. පුතෙකුට තාත්තා කෙනෙකුගේ සිිතේ ඇතිවෙන ආදරය අද මම හොඳින්ම අඳුනනවා.
මං ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගන්න ගිය කාලේ අද වගේ බහුලව විදෙස් ගතවෙන්න වාතාවරණයක් අපේ රටේ තිබුණෙ නෑ. මං යද්දිත් ඔහු හිටියෙ ලෙඩ ගණනේ. තාත්තා මිය ගිය දවසෙ රෑ මං හීනයක් දැක්කා. ඒ අපේ ගෙදර ලොකු කලබලයක්. නමුත් මට ඒ ගැන ඒ වේලේම සොයා බලන්න විදියකුත් නැහැ. ලංකාවේ ඉන්න මගේ තාත්තාට ඒ කාලේ දුරකතන පහසුකම් තිබුණේ නැහැ. මම ඒ හීනය දැක තිබුණේ මගේ තාත්තා අවසන් හුස්ම පොද පිටකරන වෙලාවේ බව දැනගත්තාම මට මහා වේදනාවක් ඇතිවුණා.
පොඩි පුතා මා බලන්න ඒවිද කියමින් ඔහු මගේ පැමිණීම ඔහු මියයන්නට පෙර බලා පොරොත්තුව ඉඳ තිබෙනවා. නමුත් ඒ බලාපොරොත්තුව ඔහු මිය ගිහින්වත් ඉටු කරන්නට මට බැරි වුණා. අද වගේ නෙවෙයි ඒ කාලෙ රටකින් රටකට යන්න හරි අමාරුයි. මේ නිසා මගේ අධ්‍යාපනය බිඳ වැටෙයි කියන බයට කවුරුවත් මට තාත්තාගේ මරණය ගැන දැන්වූවේ නෑ. මේ නිසා තාත්තාගේ අවසන් මොහොත නොදැක ඉන්න මට සිද්ධ වුණා. ඒ වගේම දහස්වාරයක් මම තාත්තාගේ ආදරය ගැන හදවතින්ම ඇඬුවා.
අපි නිතර මව් ගුණ ගී ඇසුවාට පිය ගුණ ගීවල අඩුවක් තියෙනවා. මේ වගේ පසුබිමක තමයි මට සෙවනැලි මිය යන හැන්දෑවේ ගීතය හමුවෙන්නේ.... මෛත‍්‍රි පනාගොඩ මහත්තයගෙන්.
ගීතය දුටු ගමන්ම මගේ අතීතය අවදිවෙනවා. රෝහණ වීරසිංහයන් මේ ගීතයට ලබාදුන් තනුවට සාධාරණය ඉටුවෙන්නෙ මගේ අධ්‍යාත්මය තුළින්මයි. මම මේ ඉන්නේ මගේ තාත්තා හිටපු තැන කියලා හිතාගෙනයි මේ ගීතය ගැයුවේ.
පණ්ඩිත් අමරදේවයන් හිනැහෙයි. කලාතුරකින් මුව පුරා විසිරෙන සිනහවට පිටින් ඔහුගේ දෙනෙත්් තෙත් කළ කඳුළු බිඳට තිත තබමින් අපි සොඳුරු වූ මිනිසා වෙත හැරෙමු.
amaradewa02
සොඳුරු වූ මිනිසා ඔබේ අලූත්ම ගීත එකතුව සම්බන්ධයෙන් කතා කරමු. කොහොමද එහි අලෙවිය. ඒ සඳහා වෙනස්ම අලෙවි ක‍්‍රමයක අවශ්‍යතාවයක් මතු වීමට බලපෑ හේතු මොනවාද..?

මේ ගීත එකතුව ‘‘සොඳුරු වූ මිනිසා’’ අමර ගී රසෝඝය, අමරදේව පදනමෙන් නිෂ්පාදනය කරන ලද්දක්. මේ ගීත සියල්ලම මම නැවත අලූතින් ගායනා කළ ගීත. ඒ කියන්නෙ පරණ ගීත පවා මම නැවත අලූතින් ගායනා කළා. අද නිෂ්පාදකයෙකු වෙනුවෙන් නිර්මාණ එකතුවක් බිහිකලත් ස්ව නිෂ්පාදනයක් ලෙස නර්මාණ බිහි කළත් ගීත හොරකම් කර විකුණන පරිසරයක් නිර්මාණය වෙලා. ඒ තුළ ව්‍යාජ සී.ඞී පට විකිණෙමින් නියම සී.ඞී පට නොවිකිණෙන තත්ත්වයකට පත්වෙලා. මේ තත්ත්ව ජය ගත යුතුයි. නැතිනම් මේ සඳහා වැය වූ මුදලවත් උපයන්න නොලැබීම ගැටලූවක්. මේ නිසා පළමු සී.ඞී පට 1000 අමරදේව පදනම තුළින් පමණක් අලෙවිකරන්නටත් පසු සාමාන්‍ය ක‍්‍රමය වෙත නැඹුරුවීමටත් අමරදේව පදනම කටයුතු යොදා තිබෙනවා. සී.ඞී අවශ්‍ය අයට අමරදේව පදනම අමතා එය ලබාගන්න පුළුවන්.

x ඔබේ පැරණි ගීත අතර අලූත් ගීතත් මෙහි ඇතුළත්. ජනප‍්‍රියත්වයේ ඉහළම තලයට පැමිණි ගිමන් හරින දියඹ දිගේ ගීතයත් මෙයට ඇතුළත් නේද ?
ඔව්, ජානක සිරිවර්ධන ලියා අරුණ ගුණවර්ධන සංගීතවත් කළ ’ගිමන්හරින දියඹ දිගේ...’ ගීතය මම ගායනා කළේ ජානකගේ අග්නි ටෙලි නාට්‍යයේ තේමා ගීතය විදිහටයි. ඒ ගීතය නැවතත් මට මේතාක් හොඳින් ගීත ගැයිය හැකි බව ඔප්පු කර පෙන්වුවා. 
  
ඔබේ ගායනා හැකියාව අලූතින් සනාථ කරන්නට අදහස් කළේ කිසිවෙක් ඔබේ ගායනා හැකියාව සම්බන්ධයෙන් සැක පළ කළ නිසාද ?

 
කොහෙත්ම නැහැ. නමුත් අපේ අය අතර ආකල්ප තිබෙනවා වයස සමග ගායන හැකියාව පිරිහෙන බව. නමුත් එහෙම එකක් නැහැ කියලා ඒ ගීතය විසින් ඔප්පුකර පෙන්නුවා. මට දැන් වයස අවුරුදු 86 ක්. මම අග්නි ගීතය ගැයුවා වගේම නව පරපුරේ ගායිකාවක් වුණ උමාරියා සිංහවංශ සමගත් මෑතක දී යුග ගීතයක් ගායනා කළා.
සොඳුරු වූ මිනිසා ගීතය රචනා කළේ මහින්ද දිසානායක මහත්තයා. මම තනු නිර්මාණය කළ මේ ගීතයේ සංගීත සංයෝජනය කළේ නාලක අංජනකුමාර. මම මේ ගීතය නිර්මාණය කරන්න හේතු වුණේ මිනිසා අතර තිබෙන මේ අනේකවිද බෙදීම් නිසා ඇතිවන ඛේදවාචකය ගැන කියන්නයි.

සොඳුරු වූ මිනිසා
අහස දිය ගොඩ සරන සත ලෙස
විසම වෙද කෙලෙසා
සොඳුරු වූ මිනිසා....


amaraderafoundation@gmail.com සොඳුරු වූ මිනිසාගේ වගතුග සොයන්නන් වෙනුවෙන් මඟ පෙන්වීමට ඇති උපකාරයයි.


rassawitha-futter

සෙවනැලි මිය යන සැන්දෑවේ ගීතය








ගායනය/තනුව පන්ඩිත් අමරදේවයන්
සංගීතය/ විශාරද රෝහණ වීරසිංහයන්
ගී පද/මෛත්‍රි පනාගොඩ





උපුටා ගැන්ම ලංකාදීප පුවත් පත -  http://www.lankadeepa.lk/index.php/articles/254781

පණ්‌ඩිත් අමරදේවයන්ට ජාතික රෝහලෙන් උපහාර...

පණ්‌ඩිත් අමරදේවයන්ට ජාතික රෝහලෙන් උපහාර...

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

කොළඹ ජාතික රෝහලට වසර 150 ක්‌ පිරීම නිමිත්තෙන් පණ්‌ඩිත් ඩබ්. ඩී. අමරදේව ගාන්ධර්වයාණන්ට උපහාර ප්‍රණාම පිදීමේ උත්සවයක්‌ ජාතික රෝහලේ ක්‍ෂතික ශ්‍රවණාගාරයේදී පෙරේදා (26 වැනිදා) පැවැත්විණි.

මෙම අවස්‌ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල යන මහත්ම මහත්මීහු ඇතුළු විශාල පිරිසක්‌ සහභාගි වූහ.

ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් එම උපහාර තිළිණය පණ්‌ඩිත් අමරදේවයන්ට ප්‍රදානය කළ අයුරු හා රෝහල් අධ්‍යක්‍ෂවරයා ඇතුළු කාර්ය මණ්‌ඩලය විසින් උත්සව සභාව වෙත අමරදේවයන් කැඳවාගෙන පැමිණි අයුරු මෙහි දැක්‌වේ.

උපුටා ගැන්ම දිවයින පුවත් පත


 http://www.divaina.com/2014/07/28/news04.html

සිංහල සුභාවිත සංගීතයේ නාද සිත්තම්පාණ පණ්ඩිත් අමරදේව


 සිංහල සුභාවිත සංගීතයේ නාද සිත්තම්පාණපණ්ඩිත් අමරදේව




සංගීතයෙහි ව්‍යවහාරික ප්‍රශාඛාව (applied music) සේ ගැනෙන ගීතය වූ කලී මිනිසාගේ අපූර්ව නිමැවුම් වන භාෂාවේ සහ සංගීතයේ සමවායෙන් බිහිකර ගන්නා ලද භාවිත කලාංගයකි. අනෙක් අතට ගීතය යනු ජෛවී (somatic) සහ න- ජෛවී (extra – somatic) නාදයන්ගේ විධිමත් සංකලනයක් වශයෙන් හැඳින්වීම ද යුක්ති යුක්ත ය.
එනම් මිනිස් හඩින් ද, මිනිසා විසින් පරිසර පද්ධතිය ඇසුරෙන් නිර්මාණය කර ගන්නා ලද හඩින් ද ගීතය සුපෝෂිත ය. මෙහිලා න-ජෛවී නාදමාලා නිෂ්පාදනය කර ගැනෙන්නේ සංගීත භාණ්ඩ මඟිනි. ඒ අනුව සාහිත්‍යයේ කාර්යභාරය වන්නේ ජෛවී සහ න-ජෛවී නාද අතර සමතුලනයක් ඇති කරනු වස් පන්නය (mode) වශයෙන් ක්‍රියා කිරීම ය.
විශිෂ්ට ගීත නිර්මාණයක් යනු සැමවිටම මිනිස් හඬ සංගීත භාණ්ඩයක් ලෙසත්, සංගීත භාණ්ඩය මිනිස් හඬ ලෙසත් අභිමුඛවීම සඳහා තෙරපුමක් සපයා දෙන කලාත්මක ප්‍රකාශනයකි. අවසානයේ සියලු නාද ඒකාත්ම කර කේවල නාදාවලියක් නිර්මාණය වන අතර, එය ගීතය (Song) නම් වූ විෂය ප්‍රභේදය බවට පත් වෙයි. කිසියම් වර්ණ සමූහයක් තනි චිත්‍රයක් ලෙස රූපාන්තරණය වන්නේ ද මේ ආකාරයටම ය. නිදර්ශනයක් වශයෙන් ලියනාඩෝ ඩා වින්සි (Leonardo Da Vinci) විසින් අඳින ලද මොනාලිසා (Mona Lisa) යනු තවදුරටත් වර්ණ සංකලනයක් නොවේ. එය රතු, කොළ, නිල් ආදී වර්ණ වශයෙන් නොපවතින කේවල චිත්‍රයකි. එහෙයින් ස්වර සහ අක්ෂර වර්ණාලේපිත ගීතය නාද සිත්තමක් ලෙසින් අර්ථකථනය කිරීම සහේතුක ය.
’ගීතං වාද්‍යං තථා නෘත්‍යං’ යනුවෙන් සාරංගදේවයන් විසින් විරචිත ‘සංගීත රත්නාකරයේ’ දැක්වෙන පරිදි මානව ශිෂ්ටාචාරයේ සංගීතය බිහි වන්නේ ගීතය මුල් කරගෙන ය. ඒ අනුව ගීතයේ ඉතිහාසය යනු සංගීතයේ ඉතිහාසයටත් වඩා ඈතට දිව යන්නක් බව කිය යුතු ය.
පණ්ඩිත් අමරදේවයන් විසින් නිර්මිත ගීත ආර ජාතික වශයෙන් සම්භාවනාවට පාත්‍ර වන්නේ එය දේශජ මූලයන්ගෙන් ද උකහා ගන්නා ලද සාර සංගීත සම්ප්‍රදායක මුදුන් මල්කඩ වන නිසාය. සමරූපී ස්වර සහ අක්ෂර වර්ණාවලියකින් සමන්විත කේවල නිර්මාණයක් බවට පත්වුණු යථෝක්ත ගායනා, පරිසර පද්ධතියේ ම සහජාත නාද සිත්තමක් ලෙස ප්‍රකාශිත ය.
හෙළ ගී මඟ
දේශීය සංගීතය සඳහා ඩබ්ලිව්. බී. මකුලොලුව මහතා විසින් ඉටු කරන ලද කාර්යභාරය වැදගත් වන අතර, ඔහුගේ මූලික අදහස වූයේ ගැමි ගායනයේ යෙදෙන ‘තිත් ක්‍රමය’ සංවර්ධන කිරීමෙන් ම ඊට ශාස්ත්‍රීය පදනමක් සකස් කළ හැකි ය යන්න ය.
එසේ ද වුවත් අද්‍යතන ගීතය, උත්තර භාරතීය සහ දක්ෂිණ භාරතීය සංගීතඥයන්ගේ ද, දේශීය සහ විදේශීය ගායක ගායිකාවන්ගේ ද, ගී පද සාහිත්‍යකරුවන්ගේ ද, කාලානුරූප වූත්, නිර්මාණශීලී වූත් දායකත්වයෙන් බිහි වී තිබේ.
මුල් සමයේදී නෘත්‍ය, නාඩගම් ආදී නාට්‍යානුසාරයෙන් පරිවාර කලාංගයක් ලෙස ගොඩනැඟුණු සිංහල ගීතය, සිනමාගමනයත් සමඟ තාක්ෂණික වර්ධනයක් අත්පත් කරගනිමින්, ග්‍රැමෆෝන් යුගයේදී ප්‍රමුඛ කලාත්මක ප්‍රකාශනයක් බවට සමාජගත වුණි. සූර්යශංකර් මොල්ලිගොඩ, එච්.ඩබ්.රූපසිංහ වැනි සංගීතඥයන්ගේ සංගීත රචනා ඇසුරෙන් රාගධාරී සංගීතමය ආභාසය ලද දේශීය ගීතාවලිය ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත යුගයේ දී වංග සංගීතයේ සහ රවීන්ද්‍ර සංගීතයේ ලක්ෂණයන්ට අනුගත වූ ආකාරය දැක්ක හැකි ය. එය සිදුවන්නේ නිදහස් අරගලයට පිටිබල දුන් අධිරාජ්‍ය විරෝධී සටනේ ද ප්‍රතිඵලයක් වශයෙනි.
මහත්මා ගාන්ධිතුමන් සමඟ එක්ව රවින්ද්‍රනාත් තාගෝර්තුමන් විසින් දියත් කරන ලද ඉන්දියානු නිදහස් සටන ආසියානු කලාපයේ නව පුනර්ජීවනයක් ඇති කළ සමාජ ව්‍යාපාරයකි. මෙහිලා රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ශාන්ති නිකේතනය ඉටු කළ කාර්යභාරය ඉමහත් ය. 40 දශකය පමණ වන විට අධ්‍යාපනික කේන්ද්‍රස්ථානයක් ලෙස ශාන්ති නිකේතනය චිර ප්‍රසිද්ධත්වයට පත් ව තිබුණු අතර සංගීත, නර්තන, චිත්‍ර ඈ කලා ශිල්ප හැදෑරීම සඳහා බාහිර ශිෂ්‍යයන් ලෙස ඊට ඇතුළත් වීමේ ප්‍රවණතාවක් ද ගොඩනැඟුණි.
උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදායෙන් විභේදනය වූ, ‘රවීන්ද්‍ර සංගීතය’ යනුවෙන් නව සංගීත ආරක් බිහි කර ගත් රවීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ පර්යේෂණාභ්‍යාසය පිළිබඳ ව අවධානය යොමු කිරීමත් මෙම අධ්‍යාපනික ක්‍රියාවලියේ මූලික අරමුණක් වූ බව පෙනේ. ඒ අනුව ආනන්ද සමරකෝන්, සහ සුනිල් සාන්ත වැන්නෝ ශාන්ති නිකේතනයෙන් සංගීතය හදාරා සිංහල ගීතය නව යුගයකට යොමු කළහ. වංග ජන සම්ප්‍රදාය පදනම් කරගත් නාද රටා ඔස්සේ බිහි කර ගන්නා ලද රවීන්ද්‍ර සංගීතාවලිය නිසැක වශයෙන් ම උත්තර භාරතීය රාගධාරී සංගීතයෙන් ආභාසය ලබා, නිර්මාණය කර ගත් නව්‍ය සංගීත ප්‍රභේදයක් වශයෙන් සම්භාවිත ය.
ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත සහ පණ්ඩිත් අමරදේව ප්‍රමුඛ සංගීතවේදීන්ගේ කෘතිවලින් ප්‍රකාශමාන වන්නේ ද එකී පදනම ය. පසුකාලීනව විශේෂයෙන් ආනන්ද සමරකෝන් සහ සුනිල් සාන්ත මුහුණදුන් කටුක අත්දැකීම්වලට හේතුභූත වූයේ ද එවක අධිපතිත්වය දැරූ උත්තර භාරතීය සංගීත සම්ප්‍රදායට එරෙහිව දියත් කරන ලද අරගලය ම බව සඳහන් කළ හැකි ය.

’සංගීතකාරයෝ බෝමැයි
පුප්පන්ට ඉතා සමතෝමැයි
දැනගත්ත ශාස්ත්‍රයක් නැත්මැයි’


යනුවෙන් ගායනා කෙරෙන, නීතිඥ ජෝන් ද සිල්වා විසින් විරචිත, ‘ශ්‍රී වික්‍රම’ නූර්තියේ එන, ‘පිනවන්ට සවන්’ නම් වූ ගීතයෙන් දැක්වෙන්නේ ද එකල පැවැති අධිපතිවාදී සමාජ මනෝභාවය විනා අනෙකක් නොවේ.
මෙබඳු සමාජ පසුබිමක් යටතේ ඇවිලී ගිය ජාතික නිදහස් අරගල සමය කුමාරතුංග මුනිදාස වැනි හෙළ ප¼ඩිවරුන් ගේ දැනුමෙන් ද සන්නද්ධ වී වඩාත් ප්‍රබල අවධියකට එළඹුණි.
සුනිල් ගී
හෙළ ගී වංශයේ අද්විතීය ස්ථානයක් හිමි කරගත් සුනිල් සාන්ත සංගීතවේදියාණන්ගේ ආකල්ප සංවර්ධනය උදෙසා, කුමාරතුංග මුනිදාස සූරින්ගේ සියත් අදහස් බලපෑ ආකාරය ඔහු ස්වකීය දේශීය සංගීතය’ නම් වූ සංගීත පුස්තකයේ ‘මගේ පුබුදුව‘ මැයෙන් දක්වා ඇත.

රටට දැයට හිත දපා
මඳකට දිවි ලොබ ලොපා
කළ මෙහෙයක් නැති දෙපා
හෙළයෙකු දැකුමත් එපා


වැනි ගී සුනිල් සාන්තයන්ගේ මනසට තදින් කා වැදී ඇති බව එහිලා දක්වා ඇත. ‘මම ඉඳුරාම වෙනස් අතකට පෙරැළුණෙමි. මාගේ ඊනියා හින්දුස්ථානකම, හින්දුස්ථානයටම ගියා සේ දැනිණි.’ (දේශීය සංගීතය – පිටුව 04) ඒ අනුව ඔහු තවදුරටත් හෙළිකර තිබේ.
මෙයින් පැහැදිලි වන්නේ සිංහල ගීත සම්ප්‍රදාය බටහිර – උත්තර භාරතීය – රවීන්ද්‍ර සංගීතය ආදී විෂය දේශයන් ඔස්සේ යටත්විජිත යුගයේ බටහිර සිට, පශ්චාත් නිදහස් යුගයේ ස්වදේශිකත්වය කරා තාර්කික සහ ක්‍රමික විකාශනයක් ඔස්සේ පැමිණි ආකාරය ය.
මුල් යුගයේ දී උත්තර භාරතීය රාගධාරී ආකෘතියෙන් බැහැර වෙමින් සිංහල ගීතය අත්පත් කරගත් ජයග්‍රහණයන්ට එරෙහිව ආ අභියෝගය වූයේ, එලෙස උදා කර ගත් නූතනත්වය ජන මූලය හා බද්ධ කරගැනීම ය. නොඑසේ නම්, සිදුවිය හැකි ව තිබුණේ හුදෙක් තාවකාලික ජනප්‍රියත්වයක් පමණක් ලබා, ඒවා ජන විඥානයෙන් බැහැර වී යාම ය. කුමාරතුංග මුනිදාස සූරීන්ගේ අදහස් මත පිහිටා සුනිල් සාන්තයන් විසින් සිදු කරන ලද සංගීත පර්යේෂණ තීරණාත්මක වන්නේ මෙහිදී ය.
ඒ අනුව නූතන ගීතය ‘යාතු කර්මය තත්ත්වය’ (ritualistic State) දක්වා හෙවත් මනෝජන්මීය ව්‍යවහාරයක් බවට පරිණාමය කළ පහත සඳහන් ‘සුනිල් ගී’ විමර්ශනය කළ මනා ය. වර්තමානයේ ස්ථාපිත වී තිබෙන ‘අද්‍යතන ගීතය’උත්පාදනය කර ගැනීමෙහිලා කඩඉම සනිටුහන් වන්නේ යට සඳහන් පර්යේෂණාත්මක ගී නිර්මාණ ඇසුරෙනි.
’පෝදා දහම් සිහිලේ
නැහැවේ හදේ සුව දේ’
’හමුළ් මරු ජහස් සුසුහස් සන්දල්ලා’
(සීගිරි ගී)

’සී රජ යසස සිරි
තුබු මුළු ලෝ පැතිරී’ (සීගිරි ගී)

’දුදනොද බිඳ බඳ තෙද කඳ
කඳ දෙව් රද සාමිනේ’ (කුකුළු හැවිල්ල)
ගේය පද රචනයක් සඳහා ‘තනුවක් සපයා ගැනීමේ’ සරල ක්‍රමවේදයට වඩා, රවීන්ද්‍ර සංගීතයේ පදනම වන ජනවිඥානයේ ඇති ‘සංස්කෘතික මූලය’ (cultural root) ගවේෂණය කිරීම වඩා වැදගත් බව වටහා ගත් සුනිල් සාන්ත, උක්ත ගීත නිර්මාණය කරන්නට ඇතැයි සිතිය හැකි ය. පද පෙළට අනුගත ව මධුර තනුවක් රචනා කර ගැයිමෙන් පමණක් ගීතය පරිසමාප්තියට පත් කර ගත නොහැකි බව මෙයින් විද්‍යමාන ය. එය ජන සම්ප්‍රදායේ උරුමයක් බවට ද පත් විය යුතුය. සිංහල ගීත ඉතිහාසයේ ප්‍රථම වරට සිදු කෙරුණු මෙම පර්යේෂණය බෙහෙවින් සාර්ථක වූ බව එයින් පසු ගීත කලාව විකාශනය වූ ආකාරය හැදෑරීමෙන් පසක් කර ගත හැකිය.
ඉහත දැක්වෙන ‘හමුළ් මරු ජහස් සුසුහස් සන්දල්ලා’, ‘සී රජ යසස සිරී’ සහ ‘දුදනොද බිඳ බඳ තෙද කඳ – (කුකුළු හැවිල්ල)’ යන ගීත ත්‍රිත්වය නිර්මාණය කිරීමට අවශ්‍ය තාල රූප පද්ධතිය තෝරා ගැනීමට පිටිබල දෙන ප්‍රායෝගික තත්ත්වය වන්නේ ද ජන සංස්කෘතික සම්ප්‍රදය හා සමපාත වීමේ අවශ්‍යතාව ය. උත්තර භාරතීය රාගධාරී සංගීත සම්ප්‍රදාය මත පිහිටන නිර්මාණ උදෙසා අවශ්‍ය නොවන ආකාරයේ ගීත ආකෘති ඒවාට උපයෝගී කර ගෙන තිබේ. අනෙක් අතට සියවස් ගණනක් පැවැති ‘සීගිරි ගී’ රචනාවන්ට තනු සපයා ගායනා කෙරෙන්නේ ද සුනිල් සාන්ත යුගයේ දී ය.
අමරදේව යුගය
අප ජීවත් වන වර්තමාන සමාජ අවකාශය ගීත මාධ්‍යයෙහිලා හැඳින්වෙන්නේ ‘අමරදේව යුගය’ නමිනි. එය නූතන යුගයේ සිට නව නූතන යුගය දක්වා පැතිර පවතින්නා වූ අනභියෝගී යුගයකි. සම්ප්‍රදායකි. මෙහිදී අප වටහා ගත යුතු වන්නේ, සිංහල සංගීත ඉතිහාසයේ විකාශනය පිළිබඳ ව සලකා බලන කල්හි සුනිල් සාන්තයන්ගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ‘අමරදේව පහළ වීම’ ආශ්චර්යයක් වන බව ය. එසේම ඔහු නොඉපදෙන්නට මේ සා අපූර්ව ගුණයෙන් අනන්‍ය ‘ගීතය’ නමින් හැඳින්විය හැකි කලාවක් සිංහල ජාතියට හිමි නොවන්නට ඉඩ තිබුණු බව ද අමතක නොකළ යුතු ය.
භාරතයේ ලක්නව් සංගීත පීඨයෙන් රාගධාරී සංගීතය හදාළ අමරදේවයන් විසින්, එතෙක් දුර වැඩී ආ සිංහල ගීතයේ සැබෑ මුහුණුවර හඳුනා ගන්නට හෙළන ලද ආලෝක දහර සුළු කොට තැකිය නොහැකි ය.
කාලීන සමාජ සන්දර්භයක් තුළ මුනිදාස කුමාරතුංග සූරීන්ගේ දැක්මෙන් ද, සුනිල් සාන්තයන්ගේ දැනුමෙන් ද ගොඩනැඟුණු සිංහල ගීත ආකෘතිය, පරිමසාප්ත ලෙස සංවර්ධනය කළ අමරදේවයෝ එය දේශජ උරුමයෙහි ප්‍රකාශනයක් බවට ම පත්කළ හ. එසේම සංගීතවේදී සුනිල් සාන්තයන් විසින් පසක් කරගන්නා ලද ‘හෙළ ගී ආර’ ඔස්සේ ගමන් ගනිමින්, සම්ප්‍රදාය ගුරු කොට නවීනත්වය තනා එය මල්ඵල ගැන්වූහ.
ඊට නිදර්ශනයක් වශයෙන් ඉහතින් දක්වා ඇති ගීත ආකෘති විවිධ තාල රූප වේග (tempo) ඔස්සේ එතුමන් කොපමණ දුරක් ඉදිරියට රැගෙන ගොස් ඇද්දැයි විමසනු මැනවි.
’පෝදා දහම් සිහිලේ’ – ගිලෙමි ඔබේ ගුණ මූදේ / ‘වැලිතළ අතරේ’
හමුළ් මරු ජහස් සුසු’ – ‘මල් ගොමු ගුමු ගුමු’ / ‘සක්විති කිත් රැස’
’සී රජ යසස සිරී’ – ‘හෝයියා, හෝයියා’ / ‘බිංදු බිංදු මල් ගෝමර මාලා’
’දුදනොද බිඳ’ – ‘බඹරෙකු ආවයි නිරිත දිගේයා’ / ‘සතර වරම් දෙවි මහරජ’
මෙයින් පෙනී යන්නේ පණ්ඩිත් අමරදේව කෙමෙන් වැඩී ආ දේශීය සංගීත සම්ප්‍රදායට අවමන් නොකර, එහි දුබලතා සහ ප්‍රබලතා මැනැවින් හඳුනා ගනිමින් වඩාලාත් දියුණු අවධියක් දක්වා එය යොමු කළ ආකාරය ය.
නූතන ගීත ආකෘති සරල වින්දනයක් කරා යොමු කරනු වෙනුවට, අර්ථසම්පන්න සමාජ මෙහෙවරක් වෙත මෙහෙයවා ගැනීම අමරදේව සිරිතෙහි මූලික හරය වශයෙන් දැක්වීම යුක්ති යුක්ත ය. සිංහල ගීත කලාව බටහිර, දක්ෂිණ භාරතීය, උත්තර භාරතීය, රවීන්ද්‍ර ඈ අධිපතිත්වයෙන් මුදා ගන්නා අතරතුර, එම සියලු ධාරාවන්ගේ සකලවිධ සාධණීය ගුණාංග අවශෝෂණය කර ගනිමින් පොදු සමාජ විඥානය හා අනුගාමී වන නූතන සිංහල සුභාවිත සංගීතය සහ ගීතය උත්පාදනය කර ගැනීමේ ගෞරවය හිමි වන්නේ පණ්ඩිත් අමරදේවයන්ට ය. එතුමන් විසින් සංගීතය සැපැයුණු සිනමා, වේදිකා නාට්‍ය, මුද්‍රානාට්‍ය, ටෙලිනාට්‍ය වැනි කලා කෘති අධ්‍යයනය කිරීම ද මෙහිලා වැදගත් ය.
දාර්ශනික සංකල්ප
’පිරිපුන් අඟපසඟින් හා ඊට සරිලන ඇඳුම් ආයිත්තමින් සැදීගත් සුරූපී සුකුමාර කණක ලතාවක බඳු වූ ජන කවියෙන් මම ජීවය ලබමි.’ යනුවෙන් පවසන පණ්ඩිත් අමරදේව, ස්වකීය ‘නාද සිත්තම්’ කෘතියෙහි ලා ‘කුකුළු හැවිල්ල’ විචාරයට ලක්කරමින්, සංගීතමය රචනා සඳහා පාදක කර ගන්නා වූ දාර්ශනික සංකල්ප මෙලෙස හෙළි කර තිබේ.
’මේ ගීතය විග්‍රහ කර බැලීමේදී සුනිල් සාන්ත විසින් සිංහල ගැමියන් අතර දක්නා ලැබෙන දෙස් තැබීම්, යැදීම්, හැඩීම් වැනි අවස්ථාවලදී නඟනු ලබන නාද ලතාවන් මැනවින් උකහා ගෙන ගැමි නාදාවලිය තුළ පැවැති ප්‍රාකෘතික ලක්ෂණ අබිබවා යමින් පරිසමාප්ත ගීතයක් සකසා ගෙන ඇති සැටි හෙළි වේ.
මනා ස්වාස සංයමයකින් සැදි අවස්ථාවෝචිත පරිදි ගායන ලතාව හසුරුවා ගනිමින් ප්‍රචලිත භාරතීය ගායන ප්‍රකාරයන්ගෙන් වෙන් වී කැපී පෙනෙන ස්වාධීන වූත්, දේශීය වූත් ලක්ෂණ මතු කරමින් සියුම් රසයක් ජනනය වන ගීතයක් නිර්මාණය කර ඇති සැටි විමසනු වටී.

දුදනොද බිඳ
බඳ තෙද කඳ
කඳ දෙව් රද

යනුවෙන් බිඳෙන දෙමත් කැටි දකාරාන්ත පද ඝටනාවේ ධ්වනි සම්පත්තිය අවධාරණය වන සේ උච්චාරණ රටාව මෙහෙයවා ඇති ආකාරයෙන් පලි දරන්නාගේ චිත්ත සන්තානයේ දැඩි බවත් ද්වේෂී බවත් මොනවට නිරූපණය වේ. යථෝක්ත පාදත්‍රයට අනතුරු ව එන සාමිනේ යන කොටස සංගීත සන්දර්භයට පුරුද්දා ඇත්තේ යදින තැනැත්තා විසින් කඳ දෙව් රදුට භක්ති පුරස්සරව හා බැගෑපත් ව කෙරෙන ආයාචනය ගායන ලතාවෙන් මූර්තිමත් වන අයුරිනි. ‘සාමිනේ......’ යන පාදාන්තයේ රැඳී දීර්ඝ නිසානය කඳ දෙව් රද කෙරෙහි යොමු කරවන අවධානයේ ඇති වටිනාකම ධ්වනිත කරවන සුලු ය.
මේ ගීතයේ දී වාද්‍ය වෘන්දය හසුරුවා ගෙන ඇත්තේ ද ගැමි පරිසරයේ චාම් බව රැකෙන ලීලාවෙනි.

මගෙ කුකුළා නැසූ එකා
දදය ඔබගෙ පාළු ය කා
තව එක බුද දිනක් කකා
ඉන්නට ඉඩ නොදී මකා

යන ආකෘතියේ පිහිටා කෙරෙන ගායන ඛණ්ඩයේ ලතාව සෑදී ඇත්තේ තමාට සිදු වූ හදියේ තතු කඳ දෙව් රදුට පවසමින් බාර වන පුද පඬුරුවල මහිමය දක්වා සාවධානව ආයාචනය කරන සැටි කියා පෑමට උචිත රීතියක් ඇසුරෙනි.
ස්වකීය ගායන චාතුර්යයෙන් ශ්‍රව්‍ය චිත්‍රයක් මැවෙන පරිද්දෙන්.

දිගට ඇදී
නැඟැ පැහැදී
මහ හඬ දී - දෙවියනේ

යන ගී ඛණ්ඩයේ ස්වර රචනය කර ඇත්තේ, බිම දිගා වී දෙවියන් යදින තැනැත්තෙකුගේ බැගෑපත් ලීලාව තත්වාකාරයෙන් මැවෙන සේ යි. අරපරෙස්සම් සහිත ව මෙහෙය වූ උච්චාරණ වෛචිත්‍රය මෙම ගීතය රසාස්වාදනයේ දී වෙසෙසින් සැලකුව මනා ය. මෙබඳු මූලික ගුණාංග මත පිහිටා ‘කුකුළු හැවිල්ල’ දැඩි ඒකාබද්ධතාවකින් යුක්ත ව පරිසමාප්ත ගීතයක් බවට පමුණුවා තිබීමෙන් සුනිල් සාන්තගේ ප්‍රතිභා ශක්තියේත්, ගායන චාතුර්යයේත් තතු කෙබඳු දැයි වටහා ගත හැකි ය. එහෙයින් ම මෙම නිර්මාණයට සම්භාව්‍ය පද්‍ය කාව්‍ය නිබන්ධයක් පදනම් වුව ද, නිර්මිත වූ ගීතයෙන් උද්වහනය වන රසය උත්තම ගණයේ ගීත රසයක් බව පැහැදිලිව ම පසක් වෙයි.’ (නාද සිත්තම් / පිටු 55, 56, 57)
1989 වර්ෂයේ දී පණ්ඩිත් අමරදේවයන් විසින් රචිත ‘නාද සිත්තම්’ කෘතියට, සුනිල් සාන්තයන්ගේ ‘කුකුළු හැවිල්ල’ පිළිබඳව මේ සා දීර්ඝ පදානුගතවිග්‍රහයක් අන්තර්ගත කිරීමෙන් පැහැදිලි වන්නේ එම ගීතය පිළිබඳව යොමු කර ඇති සුවිශේෂ අවධානයත්, සංගීතයෙහි සහ ගීතයෙහි දේශීයත්වය ඉස්මතු කර ගැනීමට එතුමන් තුළ පැවැති පරමාධ්‍යාශයත් ය. එසේම ස්වකීය අරමුණු සාක්ෂාත් කර ගැනිමේදී ශාස්ත්‍ර ගවේෂණය කොපමණ දුරකට ඉවහල් කර ගෙන ඇද්දැයි යන්නත් එයින් ප්‍රතීයමාන වේ.
සංගීතය නම් වූ විෂය ප්‍රාචීන සහ ප්‍රති – චීන යනුවෙන් ද්විවිධාකාරයෙන් පමණක් විභේදනය කර දක්වන පණ්ඩිත් අමරදේව, එහි ප්‍රශාඛාවන්ට නිදර්ශන සපයමින් උත්තර භාරතීය රාගධාරී සංගීතය පදනම් කර ‘බෙංගාලි රාග් සංගීතය’ නිර්මාණය කර ගෙන ඇති ආකාරය පෙන්වා දෙයි. එහිලා එතුමන් උදෘත කර දක්වන්නේ උච්චාරණ භේදයෙන් ගොඩ නැෙඟන්නා වූ ගායන අනන්‍යතාව ය.
’දීර්ඝ කාලයක් තිස්සේ සිංහල ජනතාවගේ සිතුම් පැතුම්වලට අනුරූප වන අන්දමින් සකස් වී තිබෙන විවිධාකාර ජන සංගීත ප්‍රකාර තුළින්, නව සංගීත නිර්මාණ සඳහා ආවේශය ලද හැකි ස්වර සංගතීන් මතු කර ගැන්ම එතරම් අපහසු නොවේ. අල්පේච්ඡතාව වැනි ගුණාංගයන් අගයමින් සැහැල්ලු දිවි පෙවෙතකට හුරු වුණු, බුදු සමයෙන් ශික්ෂණයක් ලැබූ ජනතාවක් රංජනය කිරීමට උචිත සංගීත නිර්මාණයෙහි ලා ආවේශයක් ලැබීමට, සිංහල ජන සංගීතය තරම් හිතකර අන්‍ය මූලාශ්‍රයක් ඇත්දැයි සිතීම පවා අසීරු ය.’ (නාද සිත්තම් / පිටුව 66)
50 දශකයේ දී පණ්ඩිත් අමරදේවයන් විසින් ඉදිරිපත් කරන ලද ‘ජන ගායනා’ වැඩසටහනට, පණීභාරත, කිරිගණිතයා, උක්කුවා, සුරඹා වැනි අග්‍රේසර දේශීය ශිල්පීන්ගේ පාරම්පරික දැනුමෙන් ද පෝෂණය කළ පර්යේෂණාත්මක නිර්මාණ රැසක් අන්තර්ගත වූ බව මෙහිලා සඳහන් කළ මනා ය.
පණ්ඩිත් අමරදේවයන්ගේ සමාජ ප්‍රගතිකාරක මෙහෙවර පිළිබඳව, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් දක්වන ලද අදහසක් ’අමරදේව ප්‍රතිසංවේදය’ කෘතියෙහි සංගෘහිත ය.
’භාරතීය සංගීත විෂයෙහි පුහුණුව ලබා ඇති මුත් අමරදේව ගේ මුවින් පිට වන්නේ අව්‍යාජ සිංහල ස්වරයකි. ජන ජීවිතයේ ප්‍රීති ඝෝෂාව මෙන් එහි දුක්මුසු විලාපය ද ඒ ස්වරය තුළින් අපට ඇසේ. එය අපේ ඇට මිදුළු තුළට කා වදින්නේ එහෙයිනි. මේ කාලයේ නිතර දෙවේලේ කැසට් මාධ්‍යයෙන් අපේ කන්වලට අසිංහල ස්වරය ඊට කෙතරම් වෙනස්දැයි හඳුනා ගැනීම අපහසු නොවේ.
(අමරදේව ප්‍රතිසංවේදය – පිටුව 29)
ඒ අනුව ඥාන වෘද්ධත්වයෙන් අසමසම වන පණ්ඩිත් අමරදේවයෝ, ‘හෙළයේ මහා ගාන්ධර්වයාණන්’ නම් වූ ගෞරව සම්ප්‍රයුක්ත ආමන්ත්‍රණයට ද හිමිකම් කියති.
පූර්වගාමී සංගීතවේදීන් සමතික්‍රමණය කර, අනන්‍ය ගායනයෙන් ස්වදේශීකරණයට ලක් කළ රාගධාරී සංගීතයට අනුගත ව, දේශීය ජන සංගීත මූලාශ්‍ර යොදා, අභිනව ශ්‍රී ලාංකික සංගීතවේදයේ ශාස්ත්‍රීය පදනම පිරිසිඳ පහදා දීමෙන් පමණක් වුව, එතුමෝ උක්ත සම්භාවනාවට ප්‍රාමාණික අර්ථයක් සපයන්නා හ.




මං පුංචි කාලෙ වැල්ලට ගිහින් දැල් ඇද්දා



 
 
පීනමුකෝ කළු ගෙඟ්
කිරි බැබළෙන හඳ පානේ....
දෙගොඩ තලා යන වතුරේ
තරඟ නැගේ පෙණ විසිරේ....
කිරිබැබළෙන හඳපානේ....


සුපුරුදු රිද්මයට අත හසුරුවමින් මා ඉදිරියේ මේ ගයන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ය. කාලය විසින් අමරදේවයන් වියපත්කොට ඇත. එහෙත් තවමත් ඒ හඬ කිසිසේත් වියපත්ව නැත. ජාතියේ මහා ගාන්ධර්වයාණන් සමඟ ගෙවුණු ඒ හෘදයාංගම දෙපැයේ මා වටහා ගත් දෙයයි.
”මම කළුතර විද්‍යාලයට යනකොට කළු ගඟත්, කළුතර බෝධියත්, හරිම අපූරු සිතුවමක් මගේ හිතේ ඇන්දා. ඒක කවදාවත් මැකෙන්නෙ නැති තරමට මා තුළ තිබුණා. වෙසක් පොහොයත් ඊට සම්මිශ‍්‍ර කරගෙන හිතේ ඇඳුණු අදහස පස්සෙ ගීතයක් කළා.”
අද මා අසල සිටින්නේ ජාතියකට, ආගමකට, පක්ෂයකට, පාටකට ගැති නුවූ විශ්ව කීර්තිධර කලාකරුවෙකි. ඒ හමුව මා භාග්‍යයක්කොට සලකන්නේ එබැවිනි. ගීතයෙන් රටක් නොව ලොවක් නැළවූ ඒ ගීත ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව ශූරීන් අද ඔබ හමුවට කැඳවමු.
ප‍්‍රශ්නය - ආයුබෝවන් අමරදේව මහත්මා.... ඔබ මොරටුවේ ප‍්‍රසිද්ධ වඩු පවුලක ඉපදුණු කෙනෙක් බව නම් අප අහලා තියෙනවා. කියමුද ළමා කාලයේ විස්තර ටිකක්...?
පිළිතුර -
මා උපන්නෙ 1927 දෙසැම්බර් 05 වැනිදා. මොරටුව කොරළවැල්ලෙදි. මගේ අම්මා වෙස්ලියානා මෙන්දිස්. ඇය මෙතෝදිස්ත ආගමේ කෙනෙක්. තාත්තා ජිනෝරිස් පෙරේරා. එයා බෞද්ධ අපේ තාත්තා ඒ ප‍්‍රදේශයේ හිටපු හොඳම වඩුබාස්. තාත්තා ඇඳ, පුටු, අල්මාරි, මේස හදන්න විතරක් නෙමෙයි, සියුම් වැඩවලටත් දක්ෂ කෙනෙක්. ඉතින් අහළ පහළ සංගීත කරන උදවිය වයලින් අලූත්වැඩියා කරගන්න තාත්තා ළඟට ආවා. මාත් ඒ වයලීන් හරිම ආසාවෙන් අත ගාමින්, තත් පිරිමදිමින් ලොකු සතුටක් ලැබුවා. තාත්තටත් වයලින් වාදනය කරන්න පුළුවන්. මම වයලීනයට ආසා බව දැනගත්තම තාත්තා මට වයලීනයක් අතින් හදලා දුන්නා අවුරුදු හතේ උපන්දිනේට. අපි ඉතින් පුංචි කාලෙ වැල්ලට ගිහින් දැල් ඇද්ද?  ඕවගෙ වැඩත් කළා. ගෙවල් තිබුණෙ වැල්ල කිට්ටුවනෙ.
 

ප‍්‍රශ්නය - වඩුගෙදරක් වුණත් අමරදේව ශූරීන් බිහිවෙන්න මාර්ගය එළිපෙහෙළි වුණේ ගෙදරින්...?
පිළිතුර -
ඔව් මගේ ලොකු අයියා ඩබ්ලිව්.ඞී. චාල්ස්. එයත් මරදානට ගිහින් ඇම්.ජී. පෙරේරා සංගීත ශාස්ත‍්‍රඥයාගෙන් සංගීතය ඉගෙන ගත්තා. මට ඒ දැනුම බෙදා දුන්නා. තාත්තට වයලින් වාදනය පුළුවන්. අම්මා මෙතෝදිස්ත නිසා ලස්සනට ගීතිකා ගායනා කළ හැකියි. ඒ හුරුව මට පුංචි කාලෙම ලැබුණා.
 

ප‍්‍රශ්නය - එතකොට පාසල් ගියේ කොහේද?
පිළිතුර -
මම පාසල් ගණනාවකින් ඉගෙන ගත්තා. මුලින්ම කොරලවැල්ලෙ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ‍්‍ර පාසලෙන්. එතනදී මට ඩැනිස්ටර් තෝමස් ප‍්‍රනාන්දු (ඞී.ටී. ප‍්‍රනාන්දු)  මහත්තයා හමුවුණා. එයා තමයි ”අශෝකමාලා” චිත‍්‍රපටයට ගීත රචනා කළේ. මට ඩබ්ලිව්.ජී. ප‍්‍රනාන්දු සංගීත ගුරුතුමා හම්බවුණෙත් කොරළවැල්ල පාසලේදී. ඒ වෙනකොටත් මට හොඳට මැන්ඩලීනය වාදනය කරන්න පුළුවන්. එතුමා මගේ හැකියාව හඳුනා ගත්තා. ඒ කාලෙ මා ගීත, පද්‍ය ගායනා තරග හැම එකකින්ම පළවෙනියා. ඉතින් පාසල් ගණනාවකින් ශිෂ්‍යත්වය දීලා මා ගන්න උත්සාහ කළා.
නමුත් මම ඉගෙන ගත්තෙ පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය සහ බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලවලින්. ඩබ්ලිව්.ජී. ප‍්‍රනාන්දු සංගීත ගුරුතුමා මාරුවී ගිය සෑම පාසලකටම මාව එක්කගෙන ගියා. එතුමාගේ ප‍්‍රධාන ගෝලයෙක් හැටියට මාව සැලකුවා. අපි චිත‍්‍රපටි බලන්න ගියේ ජපන් මැන්ඩලින් කරේ එල්ලගෙන. හින්දි චිත‍්‍රපටි බලද්දි මම ඒවායේ ගීතවලට මැන්ඩලීනය වැයුවා.
 

ප‍්‍රශ්නය - පාසල් යන කාලෙදි පේ‍්‍රමකුමාර එපිටවල මහත්මාගේ සැලළිහිණි සංදේශය ගීත නාට්‍යයේ පසුබිම් ගායනාව කළේ ඔබයි. එතැන ජීවිතේ තීරණාත්මක දවසක් නේද?
පිළිතුර -
එතකොට ඔබ ඉපදිලත් නෑ. මේ 1950 දී. එදා මේ නාට්‍යය බලන්න මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, ලංකාදීප පත්තරේ හිටපු කර්තෘ ඞී.බී. ධනපාල මහත්මාත් ඇවිත් හිටියා. මට තිබුණා සැලළිහිණි සංදේශයේ කවි ගායනා කරන්න. පසුබිම මුලූමනින්ම සමනල කන්ද, දර්ශනයෙන් හැඩකරලා තිබුණා. චිත‍්‍ර ඇඳලා තිබුණෙ සෝමබන්දු විද්‍යාපති. මම සැලළිහිණියේ කවියක් ගායනා කරන්න ගත්තා. එදා එම කවිය ගායනා කරයි.
”සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින බැති මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර”

මේ කවිය ගායනා කරද්දි  ඕඩියන්ස් එකේ හිටපු සේරම නැගිටලා සාදුකාර දුන්නා.
මේ ළමයා මෙච්චර ලස්සනට කවි ගායනා කරනවා නම් තවත් සංගීත ඉගෙනගෙන, ආවොත් මොන තරම් ගමනක් යාවිද කියලා මාව ඉන්දියාවට යවන්න මහාචාර්ය සරත්චන්ද්‍ර ඞී.බී. ධනපාල, ඩබ්ලිව්.ජේ. ප‍්‍රනාන්දු මහත්වරු කටයුතු සූදානම් කළා. මට ඒ ගමන යන්න මුදල් නෑ. පස්සෙ ලංකාදීප පත‍්‍රයේ කර්තෘ ඞී.බී. ධනපාල මහත්තයා මා වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළා. මෙතනදි තමයි මගේ නමත් වෙනස් කරන්න වුණේ.
ප‍්‍රශ්නය - ඒ කියන්නෙ අමරදේව මහත්මාට උපතින් ලැබුණෙ වෙනත් නමක්?
පිළිතුර -
ඔව් මගේ නම ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා. මා ඉන්දියාවට යන්න තමයි නම වෙනස් කළේ.
 

ප‍්‍රශ්නය - එතකොට කවුද අමරදේව නම දුන්නෙ...?
පිළිතුර -
මහාචාර්ය සරත්චන්ද්‍ර තමයි කිව්වේ. අමරදේව කියලා දාමු කියලා. ඇල්බට් කියන්නෙ පෘතුගීසි නමක්නෙ. ඉතින් වාසගම තියාගෙන නම වෙනස් කළා. අදටත් ඩබ්ලිව්.ඞී. අමරදේව තමයි.
 

ප‍්‍රශ්නය -  පද්ම ශ්‍රී යන භාරත දේශයෙන් සංගීත ශිල්පියකුට දෙන ඉහළම සම්මානය ඔබ ලැබුවා. ඔබේ ඉන්දීය සංගීත හැදෑරීමත් ඊට හේතු වෙන්න ඇති?
පිළිතුර -
මම ලක්නවුවල භාත්ඛණ්ඬේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වෙලා පණ්ඩිත් ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් සංගීත ගුරුතුමාගෙන් ශිල්ප ශාස්ත‍්‍රය ලබාගත්තා. ඒ වගේම උස්මාන් ඛාන්, කදම්බජී මුක්ෂුඞ් අලි ඛාන් වගේ අයගෙන් ශිල්පය ඉගෙන ගෙන සමස්ත ඉන්දීය වයලීන වාද්‍ය ශිල්පී තරගයෙන් පළවැනියා වුණා. ඒ වගේම සංගීත හා වාද්‍ය විශාරද උපාධියත් 1956 ලබාගෙනයි ලංකාවට ආවේ. මම මැක්සේසේ සම්මානය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ලැබූ ආරංචියට තමයි ඉන්දියාවේ සංගීතය උගත් නිසා පද්ම ශ්‍රී සම්මානය ප‍්‍රදානය කළේ.
 

ප‍්‍රශ්නය - ඔබ ගුවන් විදුලි සංස්ථාවට ගියේ ඊට පස්සෙ?
පිළිතුර -
ඒකත් ලස්සන කතාවක්. ගුවන් විදුලි සංස්ථාවට මා සම්බන්ධ වුණා. ඒ කාලෙ ගුවන්විදුලි සංස්ථාවෙ සභාපතිවෙලා හිටියෙ ඇම්.ජේ. පෙරේරා. ගුවන් විදුලි සංස්ථාවෙ ශිල්පීන් වර්ග කරන්න එතුමා ගෙන්නුවේ ලක්නවු භාත්ඛණ්ඩ. සංගීත් විද්‍යා පීඨයෙ විදුහල්පති පණ්ඩිත් ශ්‍රී කි‍්‍රෂ්ණ නාරායන් රතනශංකර් පඬිතුමා. එතුමා මගේ ගායනය අහලා ගුවන් විදුලියේ විශිෂ්ඨයා, විදිහට තේරුවා. ප‍්‍රථම ශ්‍රේණියේ ගායන හා වාදන ශිල්පියා කළා. විශිෂ්ටම ශිල්පිනිය වුණේ කෝකිල දේවි. ඊට පස්සෙ මා ගුවන්විදුලියෙ වාදන අංශයේ නායකයා කළා. මේ 1959 අවුරුද්දෙදි.1964 - 74 කාලෙ මා ශ්‍රී ලංකා කලායතන විදුහල්පති හැටියටත් කටයුතු කළා.
 

ප‍්‍රශ්නය -  කාලයක් කොරළවැල්ලේ තාපසයා කියලා ඔබ රසිකයන් හැඳින්වූ බව අප අහල තියෙනවා. මොකද මේ තාපසයා කියලා නමක් වැටුණෙ?
පිළිතුර -
1947 අශෝකමාලා චිත‍්‍රපටයට මා ගීත ගායනා කළා විතරක් නෙමෙයි රංගනයෙනුත් දායක වුණා. මම රඟපෑව එකම චිත‍්‍රපටය තමයි ඒ. අශෝකමාලා චිත‍්‍රපටයෙ තාපසයෙක්ගෙ චරිතයට පණ දුන්න නිසා සමහර අය මට ”කොරළවැල්ලෙ තාපසයා” කිව්වා. ගම ඉතින් කොරළවැල්ලනෙ. මෙතනදි මා කියන්නම  ඕනෑ ගවුස් මාස්ටර් ගැන. එතුමා තමයි මට අශෝකමාලා චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කළේ. ”භවය භීත හැර දේශිත තිලොනා” සහ ”ඇයි කරේ යමෙක් ආලේ” ගීත දෙක මා එම චිත‍්‍රපටයට ගායනා කළා. එතුමා අශෝකමාලා චිත‍්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂක හැටියට මගේ නමත් දාලා තිබුණා. මම ඒ බව දන්නෙත් පස්සෙ.
 

ප‍්‍රශ්නය -  පොඩිකාලෙ බයිලා, කපිරිඤ්ඤාවලට හිත වැටිලා හිටියලූ නේද? ඇයි මොරටුව ගම් පළාත නිසාද?
පිළිතුර  -
ඇත්ත, මම පුංචි කාලෙ බයිලා කපිරිඤ්ඤාවලට කැමතියි. ඉඩක් ලැබුණොත් ඒවම තමයි කියන්නෙ. මගේ බයිලා ගායනය වැඩි නිසා ඒක නවත්තන්න හොඳ දඬුවමක් ලැබුණා. මොකක්ද දන්නවද, කොණ්ඩෙ බූ ගෑවුවා.
 

ප‍්‍රශ්නය - රන්මුතු දුවට ඔබ දීපු දායකත්වය කුමක්ද?
පිළිතුර -
ලංකාවේ තිරගතවුණු ප‍්‍රථම වෛවර්ණ චිත‍්‍රපටය රන්මුතු දුව. එහි සංගීතය මා තමයි කළේ. කඩවුණු පොරොන්දුව තිරගත වෙන්න කලින් රන්මුතු දුව කළේ. නමුත් කඩවුණු පොරොන්දුව ඉස්සර වුණා. රන්මුතු දුවේ ”පාරමිතා බල.....” ගීතය ඉතාම ජනප‍්‍රිය වුණා. එම ගීතය රචනා කළේ මානවසිංහ මහත්තයා. එතුමා කිවුවා, මේ ගීතයේ මුල් පදයේ ගණ පිහිටීමත් ඉතා සුබයි කියලා. එදා විතරක් නෙවෙයි, අදටත් පන්සලක පින්කමක තොරණක දන්සලක මේ කොතැන වුණත් ”පාරමිතාබල” ගීතය ජනප‍්‍රියයි.
 

ප‍්‍රශ්නය - රන්මුතුදුව තිරගත වුණු පළවැනි දවසෙ මානවසිංහ මහත්තයා ගීතය වෙනස් කළාලූ නේද?
පිළිතුර -
චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයා මත්පැන් බිව්වා. එදත් පදමට බීල හිටියෙ. එදා ඔහු ලියපු ”වෙසක් පොහෝදින දිනූසේක ලොව..” පද අප‍්‍රමාණ ලෙස ගැසූ සේක අද මානවසිංහයාණෝ කියලා තනියම ගායනා කළා. අහගෙන හිටපු අයට හොඳට හිනා.
 

ප‍්‍රශ්නය - ඔබ සංගීතවත් කරපු චිත‍්‍රපට කීපයක් මතක් කරමුද?
පිළිතුර -
බොහොමයක් තියෙනවා. රන්මුතු දුව, රන්සළු, දෙලොවක් අතර, මඩොල්දුව, ගම්පෙරළිය, සාරවිට, තුංමංහන්දිය, අහස් මාළිගා, සාගර ජලය, තරංගා ඔය වගේ.
 

ප‍්‍රශ්නය - විශාරද නන්දා මාලිනී මහත්මිය වගේ බොහෝ අය චිත‍්‍රපට ගායන ශිල්පයට යොමු කළේ ඔබයි...?
පිළිතුර -
නන්දා මාලනී ගුවන් විදුලියේ ළමා පිටියේ ගීත කිවුවා. රන්මුතු දුව ගීතයකට ගැහැණු කටහඬක්  ඕන වුණා. මම නන්දා මාලනීගෙ කොටහේනෙ ගෙදරට ගිහින් ඒ ගීය ගායනා කරන්න එක්කගෙන ආවේ. එම ගීයෙ පිරිමි හඬින් ගායනය කළේ ගුවන්විදුලියෙ හිටපු නාරද දිසාසේකර. මොකක්ද දන්නවද ඒ ගීතය. ගලන ගඟකි ජීවිතේ.... (ගායනා කරයි)  නාරදත් චිත‍්‍රපටයකට ගැයූ මුල්ම ගීතය තමයි ඒක.
 

ප‍්‍රශ්නය - ඔබ ලීව පළවැනි ගීතය මොකක්ද?
පිළිතුර -
කොළඹ විශ්වවිද්‍යාලයේ ”සරසවි මේලා” කියලා ප‍්‍රසංගයක් තිබුණා. ඒකට ”ශාන්ත මේ රෑ යාමේ” ගීතය මම ලිවුවා. ඒ තමයි මම ලීව පළවැනි ගීතය.
 

ප‍්‍රශ්නය - ඔබ ගැයූ ගීත අතරින් කැමතිම ගීතයක් කියන්න පුළුවන්ද?
පිළිතුර -
අනේ කොහොම කියන්නද? හැම එකටම වගේ කැමතියි.
 

ප‍්‍රශ්නය - සංගීත ක්ෂේත‍්‍රය මොහොතක් පැත්තකින් තියමුකො. ඔබේ ආදරණීය බිරිඳ විමලා මහත්මිය මුණගැහුණ කතාව මොහොතක් කියමුද? ජීවිත කාලය පුරාම ගීතයක් වගේ ඔබේ ළඟින් හිටියෙ ඇයනෙ?
පිළිතුර -
විමලා.... ඇයත් ගීතයක් තමයි. ඇයත් ගීත ගායනයට දක්ෂයි. අපි හමුවුණේ මෙහෙමයි. දවසක් මම කලා භවන ළඟින් යනකොට ලස්සනට ගැමි ගී ගායනා හඬක් ඇහුණා.
”ගිරා මලිත්තෝ පැදුරේ වට වියනා” ගීතය හරි ලස්සනයි. මම ඉන්දියාවෙ ඉඳල ආවට පස්සෙ අහපු ලස්සනම හඬ. එදා මම කලාභවන ළඟින් නොයන්න අද විමලා මෙහෙ නෑ. මේ හමුවීම දෛවෝපගතයි. මට ඇය ගැන හිත ගියා. නමුත් එකපාරටම විවාහ වෙන්න යෝජනා කළේ නෑ. නමුත් පස්සෙ දවසක මම අදහස විමලාට කිවුවා. හඳහන් එහෙමත් බැලූවා. කේන්දර බැලූවා. විමලා දැනගත්තෙත් පස්සෙ. ඒ දවස්වල විමලා ජනකවි කියනවා. ගීත ගායනා කරනවා. නටනවා. ඇය නැටුම් ඉගෙන ගත්තෙ චිත‍්‍රසේන වජිරා ළඟ. කොල්ලූපිටියෙ චිත‍්‍රසේන කලායතනයේ. බණ්ඩාරනායක මහත්තයා 1959 ඉන්දියාවට ලංකාවෙන් සංස්කෘතික දුත පිරිසක් පිටත් කළා. එහි නර්තන අංශය භාරව ගියේ චිත‍්‍රසේන සහ වජිරා. සංගීත අංශය භාරව ගියේ මමයි, එඞ්වින් සමරදිවාකරයි. අපි යටතේ ගැහැණු හය දෙනකුයි, පිරිමි හය දෙනෙකුයි ශිල්පීන් ගියා. විමලා ගියේ චිත‍්‍රසේන යටතේ. නර්තන අංශය පැත්තෙන්. මේ ගමන අපේ සම්බන්ධකම තවත් අලූත් කළා.
මේ සංචාරයෙන් පස්සෙ මම චිත‍්‍රසේන සමඟ කරදිය සහ නළ දමයන්ති මුද්‍රා නාට්‍ය පෙන්වමින් ලෝකය පුරා ගියා.  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ඉඳන් විමලාට ලියුමක් එව්වා. 1962 අගෝස්තු 27 වැනිදා විවාහ වෙන්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව අපි දෙන්නා ඒ දවසෙ විවාහ වුණා. අපේ විවාහයට අත්සන් කළේ මහාචාර්ය සරත්චන්ද්‍ර සහ එච්.එම්. ගුණසේකර දෙපළ.
 
ප‍්‍රශ්නය - අමරදේව මහත්මා මැක්සාසේ සම්මානයෙන් පිදුම් ලැබූ කෙනෙක්...?
පිළිතුර -
ඔව් ඒක මට සතුටක්. මැක්සාසේ කියන්නෙ ආසියාවේ නොබෙල් ත්‍යාගය. පිලිපීනෙන් ඒ සම්මානය මට ලැබුණා කියලා දැනගෙනයි, මට ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුවෙ.
 

ප‍්‍රශ්නය - කලාකරුවන් බොහෝදෙනෙක් දේශපාලනයට ගිහින් තියෙනවා. ඇතැම් අය කලාවෙන් ලද ජනප‍්‍රියභාවය දේශපාලනය සඳහා අතකොළුවක්, කරගෙන තියෙනවා. සම්භාවනීය කලාකරුවෙක් හැටියට ඔබට ඒ ගැන මොකද හිතන්නෙ...?
පිළිතුර -
කලාකරුවාට දේශපාලන පක්ෂයක්, පාටක් අවශ්‍ය නෑ. ඔහුට කවුරුත් ගරුකරනවා. ඒ නිසා කලාකරුවන් දේශපාලනය කරන එකට මගේ පැහැදීමක් නෑ.
 

ප‍්‍රශ්නය - ඔබ බෞද්ධාගමිකයෙක්. රටට ජාතියට මහා මෙහෙවරක් කරපු සංගීතඥයෙක්. වාදන ශිල්පියෙක්. ඒ වගේම බොහොම නිහඬ නිශ්ශබ්ද කෙනෙක්. ඔබේ දර්ශනය කුමක්ද?
පිළිතුර -
මම බෞද්ධ දර්ශනයට තදින් ගරු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ මට සම්මානයක් දෙන වෙලාවේ මම ළඟ හිටියා ඬේවිඞ් කළුපහන. මම ඬේවිඞ් කළුපහනගෙන් ඇහුවා, බුද්ධ දර්ශනය සැකෙවින් කෙටියෙන් මට කියන්න කියලා. ඒ වේලාවෙ එතුමා කරුණු තුනක් මට කිව්වා. ඔහු විතක්ක තුනක් කිව්වා.
ජාති විතක්ක, ජනපද විතක්ක, අනවජ්ජ විතක්ක. ජාති විතක්ක කිවුවේ මම අසවල් ජාතියෙ, මට අනික් ජාතින් වැඩක් නෑ. කියලා හිතන එක. ඒක වැරදි දෙයක්. ජාති වශයෙන් බෙදී තර්ක කරලා වැඩක් නෑ. ජනපද විතක්ක කිවුවේ, මේ මගේ ජනපදය. මේ ජනපදයට වෙන කාටවත් එන්න දෙන්නෙ නෑ. එහෙම හිතලා ප‍්‍රදේශ වශයෙන් බෙදී සිටීම වැඩක් නැති දෙයක් බව.
ඊළඟට අනවජ්ජ විතක්ක. බොහෝදෙනා හිතනවා සියල්ල දත් කෙනා මමයි. අනික් අය මට වඩා පහළයි කියලා. ඒකත් වැඩකට නැති දෙයක්. තමන්ට වැඩකුත් නෑ අනුන්ට වැඩකුත් නෑ.
අප හැමෝම මිනිස්සු. අප හිතන්නෙ  ඕනෙ එහෙමයි. මගේ දර්ශනය තමයි මේ.
 

ප‍්‍රශ්නය - ජීවිතේ සැඳෑ සමයට ඇවිත් අද ජීවිතේ ආපසු හැරී බලද්දි මොකද හිතෙන්නෙ...?
පිළිතුර -
කාටවත් කරදරයක් නොවී ජීවත් වුණා. තව ටික කාලයක් ඉඳීවි. තවත් කාලයක් කායික ශක්තියෙන් ඉන්න තිබුණා නම් තව බොහෝදෙයක් කරන්න තිබුණා කියලා මට හිතෙනවා. ඒත් ඉදිරියට බය නැතිව මුහුණ දෙනවා. මගෙන් වියයුතු දේ වුණා කියලා මා හිතනවා. මේ දවස්වල මම අලූත් වැඩක් කරනවා. කැමති අයට එන්න පුළුවන්, බලන්න.
 

ප‍්‍රශ්නය - මොකක්ද ඒ අලූත් වැඬේ..?
පිළිතුර -
සංගීතය ඉගෙනගන්න අයට සුභාවිත ගීතයට උනන්දුව දක්වන හැමෝටම වැඩමුළුවක්. තමන්ට සංගීතය පිළිබඳව තියෙන ගැටලූ අහන්නත් පුළුවන්... මේ නොවැම්බර් 22 වැනිදා සවස 6.00 සිට 8.00 දක්වා බී.එම්.අයි.සී.එච්. හි කමත ශාලාවේ තියනවා. මමයි, පුතා රංජන අමරදේවයි කරන්නෙ. මගේ ගීතත් ඔබට අහන්න පුළුවන්. මා සමග කතා කරන්නත් පුළුවන්. ඒක සංගීත ප‍්‍රසංගයක් නෙවෙයි. වැඩමුළුවක්. එන අයට 0713388057 දුරකථනයට කතා කරලා විස්තර ලබාගන්න පුළුවන්.
 

ප‍්‍රශ්නය -  අමරදේව මහත්මා ඔබේ පවුලේ අයත් මතක් කරමුද?
පිළිතුර - ඔ
ව් මගේ බිරිඳ විමලා. ඒ වගේම පුතා රංජන, දියණියන් දෙදෙනයි. ප‍්‍රියංවදා සහ සුභාණි. දැන් මම මුත්තනුවෙක්.
ශාන්ත මේ ? යාමේ, පීනමුකෝ කළු ගෙඟ්, බඹරකු ආවයි නිරිත දිගේයා, බින්දු බින්දු රන් ගෝමර මාලා, ඉරහඳ පායන ලෝකේ, පාරමිතා බල, මුණි සිරිපා සිඹිමින්නේ, අඩවන් වූ දෙනෙතින් ගලනා, පිපී පිපී රේණු නටන, මින්දද හීසර, හීන හතක් මැද, පෙර දිනයක මා පෙම්කළ යුවතිය, ආදී සියක් දහසක් ගී ගැයූ මේ මහා ගාන්ධර්වයාණන්ගෙන් සමුගන්නට මට කල් එළැඹිණි. සංගීතයෙන් අගතැන්පත්, පණ්ඩිත් අමරදේවයන් පිළිබඳව ඇස හැරිය යුත්තන් තවත් ඇස හැරිය යුතු බව අපගේ හැඟීමයි. සමුගන්නට පළමුව තවත් ගී පදයක් අප වෙනුවෙන් ගයන්නට ඔහු අමතක නොකළේය.

”සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා... හේතු වාසනා”

 
 


උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප පුවත් පත 2013-11-10
 

සිංහලේ ස්වර්ණ ස්වරය



ඔහුගේ මුවින් නැඟෙන්නේ සිංහල ජනතාවගේ හද පතුලෙහි උපන් ගී රාවයයි. සිංහල ජනතාවගේ සෝබර ගී හඬය. සෑම සිංහලයකුගේම හදවතෙහි වෙණ තත් ඒ හඬට අනුකම්පනය වන්නේ එබැවිනි. 'ඔහුගේ හඬ කනෙහි වැකුණු කළ සෑම සිංහලයකුගේම දෑසට කඳුළු උනයි' යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් එසේ ප්‍රකාශ කර ඇත්තේ අන් කවරකු ගැන නොව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැනය.



මහා ගාන්ධර්වයාණෝ මා සුහදශීලිව පිළිගත්හ. එහි එතුමන්ගේ නිරහංකාර බව රැඳි තිබූ අතර දෙතො‍ෙල් රැඳි සිනහවට මගේ විඩාබව පහව ගියේ ය. ඒ, මා මෙම ගාන්ධර්වයන් දුටු ප්‍රථම අවස්ථාව ය. ඔහු සරලය. චාම්ය.

“කොළොම්තොට නැත මහලු වී

අවන්හල නැත පැරණි වී

එදා සඳමයි අදත් යෞවනයේ...

බලන් කැඩපත සොඳුරියේ...”

අතර මඟදී ඇසුණු ගී පදයක කොටසක් නැවතත් මට ඇසෙන්නට වූයේ ඔහු දැකීමෙනි. හේ මට අසුන් පනවා තමාද අසුන් ගත්තේ ය. ඒ මා අභිමුඛවය.

මහා ගාන්ධර්වයාණන් වෙතින් මා හට අසන්නට ගැටලු බොහෝ ය. එහෙත් ඒවා සියල්ල අසන්නට නොහී මම ඔහු දෙසම බලා සිටින්නට වුණෙමි. මා කොතැනකින් පටන් ගත යුතුද? ප්‍රථමයෙන් මා අසන්නේ කුමක්දැයි යන්න පිළිබඳ පවා මට නිවැරැදි අදහසක් නොවීය.

එහෙත් මා කොතැනකින් හෝ පටන් ගත යුතුය. “ඔබගේ සැප සනීප කෙසේද?” යනුවෙන් මම ඔහුගෙන් ඇසීමි.

 ‘සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා’ යැයි එතුමන්ගේ පිළිතුර විය.

මම - ඔබ මේ දවස්වල මොනවද කරන්නේ...?

ඔහු - අලුත් ගී තනු කිහිපයක් නිර්මාණය කළා. දෙරණ රූපවාහිනි නාලිකාවේ ටෙලි නාට්‍යයකට තේමා ගීතයක් කළා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් එවූ ගී පද රචනාවක් මගේ හඬින් ගැයුවා. වියපත් පියතුමකු විදේශ ගතවූ දරුවකු එනතුරු බලා සිටීම තමයි එහි අදහස

ගාන්ධර්වයාණන්ගේ දෙතොල් අතර නැවතත් සිනාවක් ඇඳිනි. අනතුරුව හේ ගයන්නට පටන් ගත්තේ ය.

මම - ඔබ මේ දවස්වල මොනවද කරන්නේ...?
ඔහු - අලුත් ගී තනු කිහිපයක් නිර්මාණය කළා.

‘සෙවනැලි මිය යන හැන්දෑවේ

පිල උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ..

නෙතු පියවෙන්න කලින්



එනවද මගෙ පුතුනේ

සී පද මුමුණන්නේ ඒ හඬ ඇහෙනවාදෝ...

ඒ ඔහු අලුතින් ගැයූ ගීතයක පදයි.

මම - සංගීතය පිළිබඳ ඔබේ නිර්වචනය මොන වගේ ද?

ඔහු - සංගීතය තමයි සකළවිධ කලාවන්ගේ ඉතා සියුම් කලා මාධ්‍යය. වාග් ලාවන්‍යත්, මධුර ස්වරයත් දෙකෙහි අනුකූලතා පූර්වක සංයෝගය ඊට එකතු විය යුතුයි . මින් කෙනෙකුගේ හදවතට අමතන්න පුළුවන්... ඉතා හෘදයාංගමව

මම - ඔබ ගායනයෙන් හෝ වාදනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කා හටද ?

ඔහු - සංවේදී හදවතට... හැම ගීතයක්ම කාව්‍යයක් විය යුතුයි. හොඳම කාව්‍ය ගේය කාව්‍ය. ග්‍රාම්‍ය කාව්‍යයත් තියෙන්න පුළුවන්. මා ආමන්ත්‍රණය කරන්නේ හොඳ රසික පරපුරක් වෙනුවෙන්.. සහෘදයන් වෙනුවෙන්. කලා රසිකත්වය උප්පතියෙන්ම වෙන එකක්. නිසර්ගයෙන් එන්න ඕනේ.

සොඳුරු සිනහව මැකී නොයයි. මම ඔහුගේ කතාවට ආසක්තව සිටින්නෙමි. මහා ගාන්ධර්වයාණෝ මුනිවත රකිති. ඔහුගේ සිත වර්තමානයෙන් මිදී අතීතය කරා පා සටහන් තබනවාත් වැනිය. මම ඊට බාධාවක් නොවෙමි.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් හේ මොරටුව කොරළවැල්ලේ නැමැති ග්‍රාමයෙහිදී ජන්ම ලාභය ලබයි. ඔහුගේ පියා වඩු ශිල්පයේ සියුම් කැටයම් කලාවෙහි නිපුන වූවෙකි. හේ කලාවට ලැදි අයෙකි. සිය පියාණන් වෙතට අලුත්වැඩියාව පිණිස ගෙනැවිත් දෙන වයලීන දකින ඇල්බට් පෙරේරා නම් දරුවා ඒවා කෙරෙහි බැඳේ. තම සත්වැනි ජන්ම දිනයට පියාණන් වෙතින් තුටු පඬුරක් ලබයි. ඒ ජපන් වයලීනයකි.

කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය ඔහුගේ ප්‍රථම පාසලයි. සද්ධර්මෝදය සෙවනෙහිදී කු.ජෝ. පෙරේරා මුල් ගුරුතුමා මඟින් මහා පඬිරුවනක් වූ කුමාරතුංග මුනිදාසයන් දැන හඳුනා ගැනීමට හැකිවිය. කුමාරතුංගයන්ගේ නිවස වූ ‘හෙවන’ පානදුරා ගඟේ දෙගොඩ පා කෙරෙන තොටුපළ ය. මේ ‍ෙහවන යට දී ඔහුගේ ප්‍රතිභාව එළිපෙහෙළළි වන්නට පටන් ගත්තේ ය. පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ ආදී පාසල් කිහිපයකට අධ්‍යාපනය ලබන්නට ඇල්බට් පෙරේරාට ඉඩ ලැබිණි.

සිනමාපට සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් ගවුස් මුණගැසීම ඇල්බට් පෙරේරා නම් යෞවනයාගේ ජීවිතයෙහි එක්තරා කඩඉමක් විය. ගවුස් මාස්ටර්, යෞවනයාගේ සහජ කුසලතා මැනවින් හඳුනාගනියි. ඔහුගේ වාදන මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස ඇල්බට් පෙරේරාව තෝරාගන්නේ එබැවිනි. මේ අතර ලංකා ගුවන් විදුලියෙහි ශිල්පීන් වර්ග කිරීම කළේ ය. මෙය සඳහා පැමිණියේ භාරතයේ සංගීත විශාරදයකු වූ මහාචාර්ය රතන්ජංකර් පඬිතුමාය. තරුණ ඇල්බට්ව ඉහළම ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙස නම් කරන ලදි.

එවක මුද්‍රා නාටක නිර්මාණය කළ ශිල්පීහු කිහිපදෙනා ඒවායෙහි සංගීතය සම්බන්ධයෙන් මේ යෞවනයාගේ සහාය පැතූහ. ප්‍රේමකුමාර එපිටවෙලගේ ‘සැළලිහිණි සංදේශය’ නම් මුද්‍රා නාටකයට ඔහු එක් වූයේ ය. එහිදී සාම්ප්‍රදායික සමුද්‍ර ඝෝෂ විරිතින් ලියැවුණු සිංහල කවියට අපූර්ව සංගීතමය විවරණයක් ඇල්බට් පෙරේරා වෙතින් නිර්මාණය විය. ඒ සමඟම කවි ගායනාවේ අභිනව සම්ප්‍රදායක්ද බිහිවිණි.

ඇල්බට් පෙරේරාගේ කන්කළු කවි ගායනාවට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා ඩී.බී. ධනපාලයන් වශී කෘත විය. ඔවුනගේ අදහස වූයේ මෙම යෞවනයා භාරතයට ගොස් තවදුරටත් සංගීතය ගැඹුරින් හැදෑරිය යුතු බවය. ඔවුහු ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. ධනපාල කර්තෘ ධූරය දැරූ ලංකාදීප පත්‍රය මඟින් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළේ ඒ වෙනුවෙනි. එයට ජනතා ආධාර ගලා ආහ. සහෘද ආශිර්වාදය මධ්‍යයේ තේරුණු සංගීතඥයා භාරතයේ ලක්නව් හී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළත් වූයේ ය. ඒ ඇල්බට් පෙරේරා නමින් නොව අමරදේව නමින් භෞතීස්ම වීමෙන් පසුවය.

1955 වසරේදී හෙතෙම සමස්ත ඉන්දීය වයලීන වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. 1955 වසරේදී භාත්ඛණ්ඩේ විද්‍යාපීඨයේ අනුබද්ධ විද්‍යාල ඇතුළත් වයලීන වාදන පරීක්ෂණයෙන් ද ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අමරදේවයන්ට හැකිවිය. ඔහු භාරතයේදී ශ්‍රී විෂ්ණු ගෝවින්ද, ජෝන් උස්මාන් ඛාන්, මන්ෂුඩ් අලිඛාන්, විනායක් මුකුන්ද්ලෙලේ, කාදම්බරී රංග රාඕ වැනි අග්‍රගනයේ ආචාර්යවරුන් ඇසුරේ ගායනයත්, වාදනයත් ප්‍රගුණ කළේය. එසේම හේ ගායනය, වාදනය දෙඅංශයෙන්ම විශාරද උපාධිය ලැබීය.

අමරදේව නම් මහා ගාන්ධර්වයාණෝ අතීතාවලෝකනයෙන් මිදෙති. ඒ මගේ බාධාකිරීමකිනි. ‘ඔබ ගයන්නේ සෞන්දර්යාත්මක බවින් අගතැම්පත් වූ ගායනා පමණක් නොවේදැයි’ මා ඇසූ පැනයට ඔහු සිනාමුසුව පිළිතුරු දෙන්නේ මේ ලෙසය.

'සෞන්දර්ය ගීතය තුළත් මානව හැඟීමක් දැනෙන්න අවශ්‍යයි'.

''සන්නාලියනේ සන්නාලියනේ

සීතල කණ එළියේ

මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්

කාටද සළුව වියන්නේ..”

මේ ගීතය දුකක් වුණත් කාව්‍යාත්මකව ආවොත් කරුණා රසයක් වෙනවා.

ෂෙලී නැමැති ඉංග්‍රීසි කවියා කියා තිබෙනවා.

“වගකීම් ගොර සපුන්

සිත බඳින ලද යදම්

සිඳහෙලන මහා සංගීතයයි” කියලා.

ලියෝ ටොල්ස්ටෝයි කියනවා සකල විධ කලා සංගීතයේ පරිපූර්ණත්වය අපේක්ෂා කරයි කියලා. ගුත්තිලයේ සඳහන් වෙනවා. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා යනුවෙන්.

සෞන්දර්යාත්මක ගීත පමණක් නොවේ, තුංමංහන්දිය, සිකුරු තරුව, පරසතුමල්, ගම්පෙරළිය වැනි දෘශ්‍ය කාව්‍යයන් සඳහා තේමා සංගීතය හා විවිධ තේමා ඔස්සේ ගායනා කරලා තිබෙනවා. මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි පුද්ගලයන්ගේ ගීතත් මා ගායනා කරලා තියෙනවා.

‘සිරි පා පියුමේ රොන් සුනු තැවරේ...’ රන්මුතුදූව සඳහා ගැයූ ‘පාරමිතා බල පූජිත පූජිත...’ වැනි බොදු ගීතත්, දේශීය ආරක්ගත් ගීතත් ඒ වගේම ජනප්‍රිය සරල ගීතත් මා ගායනා කළා. ‘සිරි සාර බුලත් විට’ , ‘පිපී පිපී රේණු නටන’ වැනි ගීත.

දෙලොවක් අතර දෘශ්‍ය කාව්‍යයේ එන ‘ගයන ගැයුම් නටන නැටුම්’ යන ගීතය කැලිෆ් ෂෝ කියන කණ්ඩායම් ගීත ශෛලියෙන් ගත්තේ. මා හැම ශෛලියක්ම ආශ්‍රය කළා..”

මම - ඇතැම් ප්‍රවීණයන් නව පරම්පරාව හෑල්ලුවට ලක්කරනකොට ඔබ ඔවුන්ව අගය කළා. ඔබ ඔවුන් හා සමීපව කටයුතු කළා. නව පරම්පරාව ගැන ඔබගේ අදහස...?

ඔහු - රූකාන්ත ගුණතිලක ගායකයා හරි ශ්‍රේෂ්ඨයි. අගය කළ යුතුයි. සන්තුෂ් - භාතිය ගේ තනු හොඳයි. ජනප්‍රිය සරල තනු. නමුත් උත්තම ගනයේ සංගීතය වෙනම එකක්.

හොඳ සංගීතඥයන් බිහිවෙනවා දකින්න පුළුවන්. හොඳ පිරිසක් ඉන්නවා. ඒත් තව කියන්න අමාරුයි. පෙර පරපුරේ වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වැන්නෝ හොඳ දක්ෂ සංගීතඥයන්.

සියබස් ලකරේ සඳහන් වෙනවා පතපොත ආශ්‍රයත්, පඬිවරුන්ගේ ගුරුවරුන්ගේ ආශ්‍රයත් දෙකම තියෙන්න ඕනේ. ඔහු හෝ ඇය තෝරාගත් කලා මාධ්‍යයේ සතතා අභ්‍යාෂයේ යෙදිය යුතුයි. මේ තුනෙන් පිරිපුන් කලාකරුවකු වෙන්න පුළුවන්. ඒ එක්කම ප්‍රතිභාවත් තිබිය යුතුයි. සංගීතය බෙදන්න පුළුවන්. උත්තම, මධ්‍යම හා අවර යනුවෙන්.

සංගීතයේ දේශීයත්වය සොයා ගිය ගමනක් මගේ තියෙනවා. සිංහල බසට අපර නාදය තෝරා ගත්තේ භාෂාව යන ආකාරයට. භාෂාවක උච්චාරණ ලීලාව අනුව තනුව හැදේන ඕනේ.

මම, අමරදේවයන්ගෙන් නොයෙක් නොයෙක් දෑ අසමි. ඔහු ඒවාට පිළිතුරු දෙන්නේ සොම්නස් සිත් ඇතුවය. සමහර දෑ මතකය. සමහරක් දෑට පිළිතුරු දෙන්නේ ඔහු විසින් ලියන ලද පොත පත පෙරලා බලා ය. හැකි හැම විටම සොදුරු අතීතය තුළ ගිලෙන්නට මේ මහා ගාන්ධර්වයාණේ නොපසුබටවෙති.

පෙරළා සියරට පැමිණි හේ ස්වකීය නිර්මාණ දිවිය ජව සම්පන්නව අරඹයි. චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ මුද්‍රා නාටකයේ සංගීත නිර්මාණය ඔහුගේ ප්‍රථම කාර්යයි. චිත්‍රසේනගේ ‘නලදමයන්ති’ අමරදේවයන්ගේ කුසලතා ප්‍රකට කළ තවත් මුද්‍රා නාටකයකි.

සිංහල වේදිකාවේ ගීත නාටක සඳහා ඔහුගේ දායකත්වය සුවිසදව සටහන් කරන නිර්මාණ අතර සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ ,’වෙස්සන්තර’ , ‘ලෝම හංස’ , ‘භව කඩතුරාව‘ ආදිය ප්‍රමුඛ වේ.

වන්නකුවත්තවඩුගේ දොන් අමරදේවයන් සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිංහල සිනමාපටය වන්නේ රන්මුතු දූවය. එය තිරගත වූයේ 1962 වසරෙදීය. එතැන් සිට ඇරඹි ඔහුගේ සිනමා සංගීතය ගම්පෙරළිය, ගැටවරයෝ, ළාදළු, දෙලොවක් අතර, රන්සළු, අක්කර පහ, තුංමං හන්දිය, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, සක්මන් මළුව, වැනි දෘශ්‍ය කාව්‍යයන් සඳහාත් දායකත්වය දී ඇත. ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇති සිනමා කාව්‍ය අතරින් ‘ගම්පෙරළිය’ දේශීය සිනමා ඉතිහාසයේ එකදු ගීයක් හෝ අන්තර්ගත නොවූ ප්‍රථම සිනමා කෘතිය වේ.

හේ සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් පමණක් නොව තමා සංගීතය නිර්මාණය කළ සිනමාපටවල මෙන්ම, වෙනත් සංගීත අධ්‍යක්ෂවරු සංගීතය නිර්මාණය කළ සිනමාපටවලද අමරදේවයෝ පසුබිම් ගී ගැයූහ. ඒ ස්වර්ණ ස්වරයෙන් හා අනුපමේය ගායන විලාශයෙන් සිනමාවට සැපයුණු ආලෝකය සුවිශාලය. ඔහු දක්ෂතම ගායන ශිල්පියා ලෙස ජනාධිපති, ස්වර්ණ සංඛ, සරසවි ආදී සම්මාන රැසකට උරුම කම් කියයි.

ඔහු - සාහිත්‍ය රසය විඳින්න බැරි නම් මනුෂ්‍යත්වයක් නෑ යනුවෙන් සංස්කෘත භාෂාවේ කියමනක් තියනවා. වර්තමාන කලාව දිහා බලපුවහම මට පේනවා හොඳ යථාරූපී සංගීතය ඇසුරු කරන්න උත්සහ ගන්නව නව පරපුර පවා.

මම - ඔබට තියෙන බලාපොරොත්තු...

බලාපොරොත්තු ..... සිහින.... අමරදේවයානෝ සිනහ සෙති. හේ මඳක් කල්පනා සාගරයේ කිමිදේ. නැවතත් ඉහළට මතුවේ. ඔහු, මට පිළිතුරු ලබාදේ.

ඔහු - දැන් පැමිණි පරිනතභාවය, ඒ සියලු දෙසින්ම ආශ්‍රය කරගෙන තවත් ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

මම - ඔබ වඩාත් තෘප්තියට පත්වන්නේ වාදනයේ නියැලීමෙන්ද නැත්නම් ගායනයේ නියැලීමෙන් ද?

ඔහු - මේ දෙකේම නිරතවන්නේ තෘප්තියෙන්. එසේම සිනමාව, නාට්‍ය යන සියලුම මාධ්‍යයන්ටත් කැමැතියි.

මේ මහා ගාන්ධර්වයාණෝ තම සංගීත දර්ශනය නිර්මාණය කළ ගායනා මගින් ප්‍රකට කළහ. ‘ජන ගායනා’ , ‘මධුවන්ති’, ‘විජය ගීත’, ‘ස්වර වර්ණ’ යන ගුවන් විදුලි වැඩසටහන් මඟින් සුභාවිත ගී කලාව සිංහල සංගීත සහෘදයා වෙත පිරිනැමීය.

ඔහු භාරතයේ ලක්නව් සංගීත පීඨයෙන් රාගධාරී සංගීතය හැදෑරීය. එතෙක් දුරකට වැඩුණු සිංහල ගීතයේ සැබෑ මුහුණුවර හඳුනාගන්නට අමරදේවයන් විසින් හෙළන ලද ආලෝක දහරාව සුළුකොට තැකිය නොහැකිය.

කාලීන සමාජ සන්දර්භයක් තුළ කුමාරතුංග මුනිදාසයන්ගේ දැක්මෙන්ද, සුනිල් ශාන්තයන්ගේ දැනුමෙන් ගොඩනැඟුණු සිංහල ගීත ආකෘතිය තව තවත් සංවර්ධනය කළ අමරදේවයාණෝ එය දේශජ උරුමයෙහි ප්‍රකාශනයක් ලෙසට පත්කළහ. එසේම සුනිල් ශාන්තයන් විසින් පසක් කර ගන්නා ලද ‘හෙළ ගී ආර’ ඔස්සේ ගමන් ගනිමින් සම්ප්‍රදාය ගුරුකොට නවීනත්වය තනා එය මල්ඵල ගැන්වූහ.

එබැවින් මෙරට අන් කවර සංගීතඥයකු හෝ නොලත් ගෞරව බහුමාන ඔහු වෙත හිමිව තිබේ. පේරාදෙණිය, කැලණිය හා රුහුණු යන විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය උපාධියට හේ උරුමකම් කියයි.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීතයේ අභිවර්ධනය උදෙසා කළ මෙහෙවර අගයමින් භාරතයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් ‘පණ්ඩිත්’ යන ගෞරව නාමය අමරදේවයන් වෙත පිරිනැමිණ. භාරතයේ ජනපති විසින් ‘පද්මශ්‍රී යන සම්මානය ඔහු වෙත ප්‍රදානය කරන ලදි. 2001 වසරේදී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස පිළිගැනෙන ‘මැග්සයිසේ’ ත්‍යාගය අමරදේවයන්ට හිමි විය. මේ මහා ගන්ධර්වයාණන්ගෙන් මා දැන් සමුගත යුතුය.

ඒ ඔහුව තවත් වෙහෙසට පත් කිරීමට මා හිත ඉඩ නොදෙනා බැවිනි. අමරදේවයන් පීඩාවට පත්ව ඇති සෙයකි. එහෙත් තවමත් ඔහුගේ දෙතොලතර නිහතමානී සිනහව රැඳී ඇත. මම තවත් එක් පැනයක් ඔහුට ඉදිරිපත් කරමි.

මම - දෙසැම්බර් මස 05 වෙනිදාට යෙදෙන්නේ ඔබගේ 85 වැනි ජන්ම දිනයයි. ඒ නිමිත්තෙන් ජාතික වශයෙන් ඔබ අගය කිරීමක් එදිනට යෙදෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස

ඔහු - ‘ජූජාච පූජනීයානං’ යන්න මංගල කාරණාවක්. පිදිය යුත්තන් පිදීම හොඳ ආදර්ශයක්.



 

 ආචාර්ය පණ්ඩිත් අමරදේව

දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදුන අමරදේව ශූරීන් ගේ අසූපස් (85) වැනි ජන්ම දිනය වෙනුවෙන් ජාතික වශයෙන් එතුමන් අගය කිරීම වස් එදිනට සංගීත ප්‍රසංගයක් පැවැත්වේ. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හා කළ මෙම සාකච්ඡාව පළවන්නේ එම අසිරිමත් අවස්ථාව නිමිත්තෙනි.




උපුටා ගැන්ම - දිනමිණ පුවත් පත


අනුසාර මාහිංගොඩ
ඡායා-ටෙනිසන් එදිරිසිංහ






රාජිනිය හමුවූ රාත්‍රියක සෞන්දර්ය


රාජිනිය හමුවූ රාත්‍රියක සෞන්දර්ය 



මීට වසර විස්සකට පමණ කලින් දිනෙක තිලක් සුදර්මන් ද සිල්වා හෙවත් ගුවන්විදුලියේ “ලොකු මාස්ටර්”ගේ නිවසට විශේෂයෙන් තෝරා බේරාගත් සීමිත පිරිසකට ඇරැයුම් ලැබ තිබිණි. නිමිත්ත වූයේ ලොකු මාස්ටර්ගේ ගුවන්විදුලි ජීවිතයට වසර විසි පහක් සම්පූර්ණ වීමයි.

අසෝක තිලකරත්න, මහින්ද අල්ගම, කරුණාතිලක හඳවල සහ මම මෙම සාදයට ඇරැයුම් ලද තනිකඩයෝ වීමු. පවුල් වී නැවැත තනිකඩ වී සිටි ප්‍රේමකීර්ති ද අල්විස් සහ බණ්ඩාර විජයතුංගද ඇරැයුම් ලදහ. පවුලක් වශයෙන් ආරාධනා ලැබ තිබුණේ අමරදේවයන්ටය. ඔවුන් සමඟ දියණිය සුභානිද පැමිණි වග තනිකඩ මගේ සිත්හි තදින් කාවැදිණි.

ලොකු මාස්ටර්ගේ නිවෙසේ සාලයට ඔබ්බෙන් තිබූ එළිමහන් ඉඩකඩ අපේ මිත්‍ර සමාගම් මණ්ඩපය විය. කාන්තාවෝ සාලයේ කෙළවර අල්ලාප සල්ලාප දෙඩූහ. මිත්‍ර සමාගම් මණ්ඩපය පුටු රැසක් තැබීමට තරම් විශාල නොවූයෙන් අප උන්නේ බිම හිඳගෙනය. ආසනාරූඪව සිටියේ ලොකු මාස්ටර් හා අමරදේවයන් පමණි. විවිධාකාර විෂයන් ඔස්සේ උණුසුමින් උණුසුමට ගිය අපේ කතාබහට “අමරේ කියමුකෝ යමක්...”
දෙපා පුටුව උඩට ගෙන එරමිණියා ගොතාගත් අමරදේවයෝ යමක් කීමට කටහඬ අවදි කළහ.

“ජගන් මෝහිනී... මධුර භාෂිණී...”
මම මෙම ගීය අනේක වාරයක් අසා ඇත්තෙමි. සංගීත භාණ්ඩ පිරිවරා සංගීත සංයෝජනයෙන් පෝෂිතව ගයනු අසා ඇත්තෙමි. එහෙත් දැන් අමරදේවයන් ගයනුයේ කිසිදු වාදන භාණ්ඩයක් නොමැතිවය. ඔහු සතු එකම මෙවලම ඔහුගේ කටහඬ සහ අවට රජයන නිහඬතාව පමණි. මේ මා මාගේ ජීවිත කාලය පුරා ඇසූ මධුරතම ගායනයයි. ගීය අවසන් වූ විගස  බණ්ඩාරේ කඳුළු සලමින් අමරදේවයන්ගේ දෙපා සිප වැලඳගත් අයුරු මට තාමත් මතකය.

අමරදේවයන්ගේ මධුර ගායන ඔබ රසවිඳ ඇත. ඒත් මා මේ ලියන්නේ ඔහුගේ මධුරතම ගායනය පිළිබඳවයි. අමරදේවයන්ගේ මධුරතම ගායනා ලාලිත්‍යයෙන් මෝහනයට පත්වීමේ අවස්ථාවන් ලද්දෝ එහි රස හොඳින් දනිති. එවන් අවස්ථා උදාවනුයේ කලාතුරකිනි. ඒ සඳහා බොහෝ කාරණා කාරණා සම්පූර්ණ විය යුතුය.

ලොකු මාස්ටර්ගේ සාදයෙන් වසර දාහතරකට පමණ පසු 1990 නොවැම්බර් මස පළමු වැනි සින්ග්ලංකා සමාගමයේ දශක පූර්ණය වෙනුවෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කෙරිණි. ප්‍රසංගය අවසන්ව සියලු දෙනා නික්ම යෑමෙන් අනතුරුව රඟහල ඉදිරිපිට ප්‍රවේශ පත්‍ර විකුණන කුටිය අසල මිත්‍ර සමාගම් පැවැත්වීමේ අහඹු අවස්ථාවක් උදාවිය. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, සිසිර සේනාරත්න, අමරදේව ඇතුළු තවත් කීපදෙනෙක් එතැන වූහ. උග්‍ර වීදුරු හිඟයක් තිබුණු බැවින් බොහොමයක් අත්වල වූයේ කුලේ කොහෙන්දෝ සොයාගෙන ආ තේ කෝප්පය.
පසුදා පොහෝ දිනයක් බැවින් පිරෙන්නට ඔන්න මෙන්න වූ සඳ විහාර මහා දේවි උද්‍යානයට ඉහළින් සිසිල සලයි. සඳ වතුරේ එතෙන සීත සමීරය ගතට මෙන්ම සිතටද පවන් සලයි. බොහෝ කාරණා කාරණා සම්පූර්ණ වෙමින් පවතියි.

1955දී පමණ අමරදේවයන් භාත්ඛණ්ඩයේ සංගීත ශිල්ප හදාරමින් සිටින අවධියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මෙහෙයවුණු සංගීත සමුළුවක් විය. මෙය පැවැත්වුණේ දිල්ලිනුවරය. එකල ගායන හා වාදනයට මූලිකත්වය දී තිබූ පෙරදිග රාගධාරී සංගීතය පාදක කොට සමූහ ගායනා හා වාදන ඉදිරිපත් කිරීම පිළිබඳ පර්යේෂණාත්මක සමුළුවකි ඒ. මෙම සමුළුව උදෙසා භාත්ඛණ්ඩයෙන් ඉදිරිපත් කෙරුණු සමූහ ගීත රචනා කොට සංගීත නිර්මාණය කළේ වාග්ගේයකාර, පණ්ඩිත ශ්‍රී  ක්‍රිෂ්ණ නාරායන් රත්නජංකර් ගුරුදේවයන් විසිනි. භාත්ඛණ්ඩ ගායන වෘන්දයේ ප්‍රධාන ගායකයා වූයේ අමරදේවය. අමරදේව එවක අවුරුදු විසි අටක නාඹර ගැටවරයෙකි.

එදා ගැයූ ගීය ඉන් වසර තිස් පහකට පසු ජෝන් ද සිල්වා රඟහල අබියස සිට අමරදේවයෝ අප වෙනුවෙන් ගයති. අසිරිමත් රාත්‍රියකි.
“රයන රානි.... නයන රානි.... වයන රානි...”
හින්දි බසින් එක් පාදයක් ගයන අමරදේවයෝ ගායනය නවතා එහි අරුත සුමට, සුබෝධ සිංහලයෙන් හා ඉංග්‍රීසියෙන් පහදා දෙති.
“රාත්‍රිය සේ විරාජමාන වූ රාජිනි... අඳුනක් සේ නෙතට සුවදෙන රාජිනි... සිත් සනහාලන රාජිනි...”
අමරදේවයන් වදන් පතියෙකි!

“පුලි සුගන්ධිත රාත රානි... සුවඳවත් රූ රැජින මලී...”
ඒ අසිරිමත් රාත්‍රියෙන් අප සමුගත්තේ පොහෝ දිනය උදාවීමෙන් පසුවයි! මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිසිර, ඇල්විටිගල තට්ටු නිවාසවලින්ද, මා ඇන්ඩර්සන් තට්ටු නිවාසවලින්ද ඇරලා සමුගනිද්දීද අප කතා කළේ ඒ මිහිරි රාත්‍රියේ සුන්දරත්වය පිළිබඳවයි.
ඊට පසු ද එවැනිම අපූර්ව රාත්‍රියක් උදාවිය. ඊට පසුබිම සැකසූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඔහුගේ “කාලෝචිත ගී” කැසට්පටය නිකුත් වී පස් වසරක් සම්පූර්ණ වීම නිමිතිකොට පැවැත්වෙන සුහද හමුවකට අපට ඇරැයුම් ලැබුණද, තවත් හේතු කාරණාවක්ද ඊටම අෑඳී තිබෙන බව පර්ලි අක්කා කීවාය.
රාත්‍රිය යොවුන් වියට පියමං කරද්දී පැදුරු සාදය ඇරැඹිණි. “කාලෝචිත ගී කැසට් පටය නිකුත් කරලා අවුරුදු පහක් ගතවුණා. ඒත් එක බල්ලෙක් ඒක ගණන් ගත්තේ නෑ...” කාලෝ සහෘදයන් රස ගන්වමින් කීය.

“අන්න ඒක නිසා මහාචාර්යතුමා තීරණය කළා අපි වගේ බල්ලෝ ටිකකට ආරාධනා කරලා සාදයක් පවත්වන්න” මම උෟනපූර්ණය කළෙමි!
පැදුරු සාදයේ ගී රාවය සහෘද සිත් පිනවාලයි. මහාචාර්යවරයාගේ නිවෙසේ සඳලුතලයට ගිය විට පෙනෙන්නේ දියවන්නාවයි. පසුදා පොහෝ දිනයකි. පිරෙන්නට ඔන්න මෙන්න වූ සඳ දියවන්නාවට ඉහළින් සිසිල සලයි. සඳ වතුරේ එතෙන සීත සමීරය ගතට මෙන්ම සිතටද පවන් සලයි. “රයන රානි - නයන රානි - වයන රානි...” ජෝන් ද සිල්වා රඟහල අසල අසිරිමත් රාත්‍රිය පිළිබඳ රස මතක සිත් තුළ මෝදු වෙමින් එයි.
සඳලුතලයේ අඳුරු කෙළවරක අමරදේවයන් සිටිනු පෙනේ. මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟින් එතැනට යමි. සින්ග්ලංකා දශකයදා ගෙවුණු අපූර්ව රාත්‍රිය පිළිබඳව අමරදේවයන්ට කොඳුරමි.

අෑතින් නැඟෙන පැදුරු සාදයේ ගී හඬ මටත්, සුනිල්ටත් නෑසේ. අප සිව්කන් මී ලන්නේ අමරදේවයන් අප දෙදෙනා වෙනුවෙන් ගයන ගීයේ මාධුර්යයයි!
“පුලි සුගන්ධිත රාත රානී මන්ද සීත සමීර
ලහ ලහ රාත - රසකී භාත
කරතලු හාත - මනකෝ භාත...

රයන රානි... නයන රානි... වයන රානි...”


සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශනයක් වූ සමන්ත හේරත් හා ප්‍රණීත් අබේසුන්දර සංස්කරණය කළ ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ ජන්ම දින සමරු ග්‍රන්ථයෙනි.


උපුටා ගැනිම - මව්බිම පුවත්පතට සමන් අතාවුදහෙට්ටි මහතා රචිත ලිපියකි

අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ.



‘මගේ පියා වෘත්තියෙන් වඩු කාර්මිකයෙක්. ඒ නිසා නිතරම අලූත්වැඩියාව සඳහා වයලින් 10 ක් 15 ක් විතර ගෙදර තිබෙනවා. මම ඒවා වාදනය කරලා සංගීතය ගැන කිසියම් ප‍්‍රාථමික මට්ටමේ දැනුමක් ලබාගෙන තිබුණා. අවුරුදු හතේ, අටේ ඉඳන්ම මම බඹර තත්, කොවුල් තත් ගැන යමක් කමක් දන්නවා. නමුත් හොඳ සංගීතඥයෙක් වෙන්න නම් සංගීත සම්ප‍්‍රදාය පිළිබඳ ශාස්ත‍්‍රාලයීය දැනුමක් තිබිය යුතුය කියන හැගීම මගේ හිතේ මුල ඉඳන්ම තිබුණා.
 
*ඔබත් අපේ රටේ බොහෝ ගායක ගායිකාවන් වගේම පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායම්වලින් බිහිවූ ගායකයෙක්.

ඇත්ත වශයෙන්ම. මගේ පියා බෞද්ධ වුණාට මගේ මවු මෙතෝදිස්ත. ඒ නිසා මම ඇයත් එක්ක පල්ලි යනවා. ඒ ආගමික පසුබිම තමයි මට පල්ලියේ කන්තාරු සංගීත කණ්ඩායමට බැෙක්‍ෂන්න හේතුවුණේ. දන්නවද, මමත් නත්තල් කැරොල් සින්දු කියලා තිබෙනවා.
  ආනන්ද සමරකෝන්ගේ ඇසේ මධුර ජීවනයේ ගීතා සින්දුව ඇහුවයින් පස්සේ තමයි මටත් හිතුණේ ඒ වගේ නිර්මාණය කළ හැකිය කියලා. සුනිල් සාන්තට තිබ්බේ පල්ලියේ කන්තාරු සංගීත ආභාසය. සමරකෝන්ට බලපෑවේ රබින්ද්‍ර සංගීතය. 1953 දී මය සංගීතය හදාරන්න ඕන වුණා.. මට ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගන්න සල්ලි තිබ්බෙ නැහැ. මහා පත‍්‍රකලාවේදී ඞී.බී. ධනපාල සූරීන් තමයි ලංකාදීප පත්තරෙන් අරමුදලක් පිහිටුවලා මට ඉන්දියාවට යන්න මුදල් සොයා දුන්නේ. ඒකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රත් එක් වුණා. අපේ රටේ සමහර ගායකයන්ට කියනවනේ ජනතාවාදී ගායකයා, පොදුජන ගායකයා කියලා. ඇත්ත වශයෙන්ම මම තමයි පොදු ජනතාවගේ ගායකයා. මොකද මේ රටේ සංගීතකාමි ජනයාගේ රුපියලෙන් දෙකෙන් තමයි මම ඉන්දියාවට ගිහින් සංගීතය ඉගෙනගත්තේ. මම ඔවුන්ට මගේ හිස නමා ආචාරය පුදකරනවා. ඉන්දියාවෙදි මට මාසයකට වියදම් වුණේ රුපියල් 200 යි. ඒ මුදල මට ලැබුණේ මේ අරමුදලෙන්. අවුරුදු හතරක්ම මම හිටියේ ඒ මුදල් ආධාරයෙන්.

  මම ලක්නව්වලට ගියේ ධනුස්කොඩියෙන් බැහැලා කෝච්චියෙන්. මොකද, ඒක මගේ මුල්ම විදේශීය සංචාරය. තනිව රටින් බැහැරව ගිය මුල්ම ගමන. ඒ නිසා ඒ ගමන මට ජීවිතේට අමතක වෙන්නේ නැහැ. භාත්ඛණ්ඬේ සංගීත විද්‍යාලයට ඇතුළු වන තැනම සිහින් සිරුරකින් යුතු පුද්ගලයෙක් සිටිනු මම දැක්කා. මට හිතුණේ ඔහු පියන් කෙනෙක් වෙන්න ඇති කියලා. මම ඇහැව්වා ඔහුගෙන් කවුද විදුහල්පතිතුමා, එතුමා කොහෙද ඉන්නේ කියලා. ඔහු හිනාවෙලා කිව්වා මම තමයි විදුහල්පති කියලා.
  ඒ තමයි පණ්ඩිත් ක‍්‍රිෂ්ණ නාරායන රතන් ජංකර්. ඊට කලකට ඉහත එතුමා ලංකාවට පැමිණියා. ඒ අපිව වර්ගීකරණය කරන්න. මා ගායකයෙක් හා වාදකයෙක් විදියට විශිෂ්ට ශේණියට වර්ගීකරණය වුණේ ඒ අවස්ථාවේ. ගායන ක්ෂේත‍්‍රයෙන් විශිෂ්ට ශ්‍රේණිය ලැබුවේ කෝකිල දේවි වීරතුංගත් මමත් විතරයි. එතුමා මාව විද්‍යාලයේ හොඳම වයලින් ගුරුවරයා වූ ශ‍්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් වෙත යොමුකළා. මම විද්‍යාලයේත්, විෂ්ණු ගෝවින්ද් තුමාගේ නිවෙසේත් වයලින් වාදනය ප‍්‍රගුණ කළා. අවසානයේ මට එතුමාගේ හොඳම ශිෂ්‍යයා බවට පත්වුණා. එතුමා මා ගැන කොයිතරම් පැහැදුණාද කිවහොත් එතුමා ගේ මුණුබුරෙකුට තිබ්බේ මගේ නම. ඒ අමරදේව විජය ජෝග් යනුවෙන්. මගේ මුල් නම ඇල්බට් පෙරේරා අමරදේව කියා මහාචාර්ය සරච්චන්ද්‍ර නම වෙනස් කරා.
  ගුණදාස අමරසේකරත් මට නමක් දැම්මනේ. මේඝවර්ණ කියලා. එදා අමරදේව නම නොයෙදුණානම් අද මගේ නම ඩබ්ලිව්. ඞී. මේඝවර්ණ.
  මම කවදත් ධනය රැස් කරපු කෙනෙක් නෙමෙයි. කෑමට මුකුත් නැත්නම් කැඳ උගුරක් හරි බීලා ජීවත්වෙන්න පුළුවන්කම මටත් මගේ බිරියටත් තිබුණා.
  මගේ නිර්මාණකරණය හමාර නැහැ. අපේ මොළේ සෙල ඔක්කොම අපිට ප‍්‍රයෝජනවත් වෙන්නේ නැහැ වගේ මම මෙතෙක් ප‍්‍රයෝජනයට අරන් තියෙන්නේ මගේ ප‍්‍රතිභා ශක්තියෙන් ස්වල්පයක් පමණයි. කළ දේට වඩා නොකළ දේ වැඩියි. මගේ හොඳම නිර්මාණ බිහිවන්නේ ඉදිරියේදි. ඕනෑම කෙනකුට කිසියම් අරමුණක් තියෙන්න ඕනැ. එහෙම නැතුව කිසිම දෙයක් සාර්ථකව කරන්න බැහැ. අනිත් දේ බුදු හාමුදුරුවෝ දේශනා කර වදාළ මධ්‍යම ප‍්‍රතිපදාවෙන් ජීවිතය ගෙනයාම වැදගත්.

  උන්වහන්සේ ඔය ධර්මානුශාසනාව කළේ සෝන තෙරුන්ටයි. සෝන තෙරුන් කලින් හොඳ වීණා වාදකයෙක්. වීණාවේ තතක් වැඩිය තද කළොත් හොඳ හඬක් එයි ද? වැඩිය බුරුල් කළොත් ඒත් හොඳ හඬක් එයි ද? නැහැ. ඒක සුභාවිත රසයක් වන්නේ නැහැ. ඒක කළ යුත්තේ මධ්‍යම ප‍්‍රමාණයෙන්. නියම නාදය බිහිවන්නේ එතකොටයි. වැඩි වෙන්නත් හොඳ නැහැ අඩුවෙන්නත් හොඳ නැහැ. ඒක තමයි ජීවිතය. 



උපුටා ගැන්ම - සිළුමිණ පුවත්පත් සටහන – සුනිල් මිහිඳුකුල  

අශෝකමාලා නිසා කොරලවැල්ලේ තාපසයා වුණා



ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව
රත්තනදෙණියේ මේධානන්ද හිමි...

අම ර දේ ව මහත්තයගෙ උපන් ගමෙන්ම කතාව පටන් ගනිමු. මොරටුව කොරලවැල්ල කියන ගමේ තමයි මම ඉපදුණේ. අද වගේම ඒ කාලෙත් වඩු වැඩවලට ඒ පළාත බොහොම පරපදුසිද්ධයි. කොරලවැල්ල ගම ගඟටත්-මුහුදටත් අතරින් පිහිටලා තිබුණේ. මුහුදු වෙරළ ගමේ සුන්දරත්වය වැඩි කළා. අටදෙනෙක් සිටි පවුලේ බාලයා හැටියටයි මම උපදින්නේ. ඒ 1927 දෙසැ. 05.

වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට සංගීතයට නැඹුරු වෙන්න තරම් උත්තේජනයක් සැපයූ පසුබිම මොකක්ද?


ඒක හරි අපූරු ලස්සන කතාවක්. මගේ පියා ඉතා සියුම් වඩු වැඩවලට පර හ දේශයේ ජනපරිගේ යත්වයක් ඉසිලූ නිසා වටාපිටාවේ සිටි සංගීතකාරයන් තමන්ගේ කැඩුණු බිඳුණු වයලීන් අලූත්වැඩියා කරගැනීමට පැමිණියේ තාත්තගේ වඩු මඩුවට. මම ඒ අබලන් වයලීනවල තත් පිරිමදිමින් කුඩාම අවදියේ මහත් ආස්වාදයක්, සතුටක් වින්දනයක් ලැබුවා. මගේ ආසාව තේරුම්ගත් තාත්තා අවුරුදු 07 උපන් දිනයට එයාම අතින් හදපු වයලීනයක් තෑග්ගක් විදිහට මට දුන්නා.

ඊට පස්සේ මොකද වුණේ….


මගේ ලොකු අයියාත් (ඩබ්ලිව්.ඞී. චාල්ස් පෙරේරා) මේ කාලයේ සංගීතය ඉගෙන ගන්න උනන්දුවක් දක්වපු කෙනෙක්. එයා කොරලවැල්ලේ ඉඳන් මරදානේ ඇම්.ජී. පෙරේරා කියන සංගීත ශාස්තරල් ඥයා ළඟට සංගීතය ඉගෙන ගන්න දවස් ගාණක් ගියා. ඒ ගිහින් ඇවිත් එයා ඉගෙන ගත්ත රාග, තාල පිළිබඳ මට එයාට පුළුවන් විදිහට මට කියා දුන්නා. මේ තුළින් වයලීනයෙන් යම් යම් නාද සිත්තම් මවන්නට සහජයෙන්ම හැකියාවක් මට ලැබුණා. හැන්දෑ කාලයේ මුහුදු වෙරළේ ඇවිද ඇවිද ඈත අහසේ වළාකුළු එහා මෙහා පාව යන චලනයට අනුරූපව නාද සිත්තම් සිතින් සිතා මුවින් මුමුණා ආස්වාදයක් ලැබීමට පුරුදු වුණා. ගායනය, වාදනය භාෂණය යන සියලූ දේම මට තිබුණා. සහජ හැකියාව බොහෝ දෙනාට අවබෝධවීමට වැඩි කාලයක් ගතවුණේ නැහැ.

වයලීන් වාදනයට අමතරව ගායනය පැත්තට අමරදේව මහත්තයා නැඹුරු වෙන්නේ කොහොමද?

කුඩා කාලයේ මධුර ලෙස කවි ගායනා කරන්න මට හැකියාවක් තිබුණා. පියා බෞද්ධ නිසා පන්සලේ ආභාසයත් අම්මා මෙතෝදිස්ත ආගමේ නිසා පල්ලියේ ආභාසයත් මට ලැබුණා. කුඩා කාලයේ ඉඳන්ම මම තාත්තා එක්ක පන්සල් යන්නත්, අම්මා එක්ක පල්ලි යන්නත් පුරුදු වුණා. වෙසක්, පොසොන් කාලයට පන්සලේ බැති ගී වගේම සල්පිලේ කියන කවි මගේ දෙසවන් පිනෙව්වා. කවි, ගාථා මධුර ලෙස ගායනා කිරීමට මටත් තිබුණ හැකියාව ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ අවබෝධ කරගත් පසුව දොරකඩ අස්න කීමට පවා මට පැවරුවා. පසුව සල්පිලේ කවි ගායනා, බැති ගී වගේ ඒවට මාව නැතුවම බැරි කෙනෙක් වුණා. කුඩා අවධියේම ගීතිකා ගායනා කරන්නට තිබූ හැකියාව නිසා පල්ලියටත් එහෙමයි. මාව ඇතුළත් කරගෙන කැරොල් කණ්ඩායමක් පවා හැදුවා.

ඊට අමතරව අමරදේව මහත්තයට ඉස්කෝලේ අත්දැකීම් මේ සඳහා බලපාන්නේ කොහොමද?

මාව ඉස්සෙල්ලාම ඇතුළත් කළේ කොරලවැල්ලේ ශරී් ම සද්ධර්මෝදය බෞද්ධ පාසලට. මේ පාසලේ පරේ ශධානාචාර්ය කු.ජෝ. පරව  නාන්දු මහත්තයා හෙළ හවුලේ කරිප  යාකාරී සාමාජිකයෙක් වගේම මුනිදාස කුමාරතුංග මහත්තයත් බොහොම ළඟින් ඇසුරු කළා. එතුමා මගේ දක්ෂතා හඳුනාගෙන දවසක් කුමාරතුංග මහත්තයා ළඟට රැගෙන ගොස් මාව එතුමාට හඳුන්වලා දුන්නා. කුමාරතුංග මහත්තයා ඉදිරියේ පවා කවි ගායනා කරලා පරන්නශංසාවට ලක්වෙන්න මට වාසනාවක් තිබුණා. කුඩා අවදියේම මෙවැනි පඬිවරු ඇසුරු කරන්න ලැබීමෙන් දේශීය අනන්යනතාවට වගේම භාෂා ශාස්තරා   දියට ඇල්මක් ඇතිවුණා.

මුලින්ම ගුරුවරයකු ගෙන් සංගීතය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?

මම කොරලවැල්ලේ සද්ධර්මෝදය ඉස්කෝලේ 05 පන්තියේ ඉගෙන ගනිද්දී ඩබ්.ජී. පර ම නාන්දු කියන සංගීත ගුරුවරයා කළුතර ඉඳන් කොරලවැල්ලේ මම අධ්යා්පනය ලැබූ ඉස්කෝලෙට මාරුවීමක් ලැබී ආවා. එතුමා මගේ දක්ෂතා මැනවින් හඳුනාගෙන මාව ගායනයට, වාදනයට යොමු කළා. එතුමාගේ ගුරුහරුකම් ලබා මම පාසල් මට්ටමින් තිබුණ හැම කවි ගායනා තරගයකින්ම ජයගරම පහණය ලබා ගත්තා. ගුරුතුමා නැති අවස්ථාවල සංගීත පන්තිය මෙහෙයවීමට පවා එතුමා මට පැවරුවා. මේ වනවිට කොරලවැල්ලට පමණක් සීමාවී තිබුණ මගේ කීර්තිය ටිකෙන් ටික එළියට යන්න පටන් ගත්තා. මේ නිසාම පාසල් කීපයක්ම මට ශිෂ්ය ත්වයක් ලබාදීමට ඉදිරිපත් වුණා.

අමරදේව මහත්තයා ගියාද?

ඔව්. ඊට පස්සේ මම පානදුරේ ශරී    සුමංගල විද්යාාලයට ඇතුළත් වුණා. එහි ටික කලක් ඉඳලා පසුව මොරටුව විද්යා්ලයටත් ගියා. මේ පාසලේ සංවිධානය කළ කවි ගායනා තරගයකින් පළමුවන ස්ථානය දිනාගත්තට පස්සේ එම ගායනය ගුවන්විදුලියෙන් රටටම ඇහෙන්නට ඉදිරිපත් කරන්නට භාග්යය ලැබුණේ මේ කාලයේදීයි. මොරටුව විද්යාතලයෙන් පසුව මට බලපිටියේ සිද්ධාර්ථ විද්යා ලයට යන්නත් සිදුවුණා. මෙහෙම ඉස්කෝලෙන් ඉස්කෝලෙ කට මාරුවෙන්න මට මගේ සංගීත ගුරුතුමත් හේතුවක් වුණා. එතුමා මා කෙරෙහි මොනතරම් පැහැදී සිටියාද කිව්වොත් මම යන යන තැනට එතුමා මාරුවීමක් අරන් ආවා. නැත්නම් එතුමාට මාරුවීමක් ලැබුණ ඉස්කෝලෙට මාවත් එක්කර ගත්තා
.
ඉස්කෝල කීපයකටම මාරුවෙවී යන්න ලැබුණු එක මොන විදිහටද අමරදේව මහත්තයගෙ ජීවිතයට බලපෑවේ?

පඬිවරු බොහෝ දෙනෙක් හඳුනා ගන්න අවස්ථාව උදා වුණා. පළමුවරට කිරිහාමි කියන නාට්ය්යට සංගීතය සම්පාදනය කරන්නට ලැබුණෙත් මොරටුව විද්යානලයේ ඉගෙනුම ලබන කාලයේයි. ඊට පස්සේ බලපිටියේ සිද්ධාර්ථ විද්යායලයට ඇතුළත් වුණාම එහි විදුහල්පති මාර්ගයෙන් අශෝකමාලා චිතරථා පටියේ සංගීත කණ්ඩායම හඳුනා ගන්නත් ලැබුණා. මගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙන්න ඒක බලපෑවා.
අශෝකමාලා චිතරර්ගපටියේ සංගීත කණ්ඩායම හඳුනාගත්තට පස්සේ ජීවිතේ වෙනස් වෙන්නේ කොහොමද?
මේ වෙනකොට මම අවුරුදු 17ක විතර ගැටවරයෙක්. මේ කාලයේදීම මොහොමඞ් ගවුස් මාස්ටර් හඳුනාගන්න ලැබීම ජීවිතේ ලොකු පෙරළියක් වුණා. එතුමා අශෝකමාලා චිතරොකුපටියට සංගීතය සපයන්න ඇවිත් නැවතිලා හිටියේ බම්බලපිටියේ ඡයා පාරේ තිබුණ ශාන්ති කලා නිකේතනයේ. මම ගවුස් මාස්ටර්ට සුරුට්ටු මිටියකුත් රැගෙන දිනපතා බම්බලපිටියට යන්න එන්න පටන් ගත්තා. මගේ හැකියාවන් හඳුනාගත් එතුමා පර ග ධාන වයලීන් වාදකයා ලෙස එතුමාගේ සංගීත කණ්ඩායමට එක්කර ගත්තා. ඊට පස්සේ මම පාසල් අධ්යා පනය නතර කරලා අශෝකමාලා චිතරපට පටියේ නිෂ්පාදන කටයුතු සඳහා ඉන්දියාවේ මදුරාසි නුවර සෙන්ටර ප ල් චිතරාු සගාරයට ගවුස් මහත්තයා සමග ගියා.

අමරදේව මහත්තයාගෙ චිතරි නපට සංගීතයේ ආරම්භය වගේම චිතර්ුමපට ගායකයකු විදිහට මතුවෙන්නෙත් අශෝකමාලා චිතරසංගපටිය තුළින්ම නේද?

ඔව්. මම සංගීතයෙන් සහය වූවාට අමතරව මේ චිතර‍ය පටියට ඇයි කළේ යමෙක් ආලේ… සහ භවේ භීත හැර දේශිත තිලොනා… යන ගීත දෙක ගායනා කළා. ඒ විතරක් නෙමෙයි මේ චිතර‍පටපටියේ තාපසයගෙ චරිතය රඟපෑවෙත් මම. එවකට නර්තන ශිල්පියෙකු ලෙස පර ග සිද්ධියට පත්වෙලා හිටපු ශාන්ති කුමාර් තමයි මේ චිතරිල්පටියේ අධ්යරක්ෂවරයා. 1947 දෙවන සිංහල චිතර තමපටිය ලෙස මේ චිත්ේ‍රපටිය පරයක්දර්ශනය කළා. ඊට පස්සේ තාපසයගෙ චරිතය රඟපෑ නිසා කොරලවැල්ලේ තාපසයා කියලා පහුවදා පත්තරවලත් ගියා.

අශෝකමාලා චිතරයගෙ පටියෙන් පසු මොකද වෙන්නේ?

චිතරමාලපටියේ වැඩ කටයුතුවලින් පස්සේ ලංකාවට ඇවිත් ගවුස් මාස්ටර් ගුවන්විදුලියෙන් ඉදිරිපත් කරන සංගීත වැඩසටහන්වලට වයලීන් වාදනයෙන් සහය වුණා. සුනිල් ශාන්තයන්ගේ ආදර නදියේ ගීතයට වගේම මෙතරම් සුන්දර මල් වැනි ගීතවලටත් වයලීන් වාදනයෙන් සහය වුණා. එහෙම ඉන්නකොට දවසක් යූ.ඞී. පෙරේරාගේ ගේය පදරචනයක් වූ රසයි කිරියි ගීතයට සංගීතය සැපයුවේ ගවුස් මාස්ටර්. වයලීන් වාදනය කළේ මම. මේ ගීතය ගරැට  මෆෝන් තැටියට ගායනා කිරීමේදී ගායකයා ගීතය වැරැද්දුවා. අවස්ථා කීපයක්ම වැරදියට ගායනා කළ නිසා ගවුස් මාස්ටර් මා ලවා එම ගීතය ගායනා කෙරෙව්වා. මාව ගරැ   මෆෝන් ගායකයෙක් වෙන්නේ එහෙම. චිතරව්වසේන, පේරපරැමකුමාර වැනි විශිෂ්ට නර්තනවේදීන්ටත්, එදිරිවීර සරච්චන්ද්රිගේ පබාවතී වැනි නාට්ය්වලටත් මම ගායනයෙන් වාදනයෙන් යන දෙකෙන්ම සහභාගි වුණා.
මේ වෙනකොට මම ගුවන්විදුලි ගායනාවලටත් සම්බන්ධ වෙලා ශිල්පියෙක් විදිහට අනන්යාතාවක් ගොඩනගා ගෙන තිබුණා. ඔය කාලේ ගුවන්විදුලි ශිල්පීන් වර්ගීකරණය කිරීමට භාත්ඛණ්ඬේ සංගීත විද්යාදලයේ අධිපති මහාචාර්ය ශරීිරී රතනජංකර් පඬිතුමා ලංකාවට ආවා. ඉහළම ශ්රේ්ණියේ ගායකයෙකු ලෙස මාව පරීක්ෂණයෙන් තේරුවා. ඊට පස්සේ සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයා මට ඉන්දියාවට ගිහින් වැඩිදුරටත් සංගීතය විධිමත්ව හදාරන්න උපදෙස් දුන්නා. ඊට පස්සෙ ලක්නව්හි භාත්ඛණ්ඬේ සංගීත විද්යාන පීඨයට ඇතුළත් වෙලා වැඩිදුරටත් සංගීතය ඉගෙන ගත්තා. සංගීතඥ ලයනල් එදිරිසිංහ මහත්තයත් මෙයට ඇතුළත් වෙලා සංගීත උපාධියක් ලබාගත් කෙනෙක්. මං වගේ දක්ෂයෙක් සිනමා සංගීතයට පමණක් කොටුවෙලා වැනසෙයි කියලා එතුමා තුළ බියක් තිබුණා.

වඩු කාර්මික පවුලක ඉපදුණු අමරදේව මහත්තයට ඉන්දියාවට ගිහින් ඉගෙන ගන්න තරම් වත්කමක් තිබුණද? කොහොමද ඉන්දියාවට යන්නේ…

මේ වෙනකොට එදිරිවීර සරච්චන්ද්රේයන්ගේ පබාවතී නාට්යටයේ සංගීතය සපයලා අපි දෙන්නා අතර ලොකු අවබෝධයක් තිබුණා. එතුමාගේ ඉසිවර නුවණින් මා යන දුර කල්තියාම හඳුනා ගත්තා. එවකට ලංකාදීප පත්තරේ කර්තෘ ඞී.බී. ධනපාල මහතාට මං ගැන කියලා එතුමාගේද සහයෙන් අරමුදලක් ආරම්භ කරලා ඉන්දියාවට යන්න අවශ්යා සැලසුම් සකස් කරලා මට උදව් කළා. විදේශයකට යද්දී දේශීය නමක් සහිතව යන්න ඕන කියලා එතුමා මගේ නම පවා වෙනස් කරනවා. ඇල්බට් පෙරේරා කියලා මුලින් තිබුණ නම වෙනස් කරලා අමරදේවා කියන නම දැම්මේ සරච්චන්ද්රු මහත්තයා. මම ඉන්දියාවට යන්නේ අමරදේව නමින්.


ඉන්දියාවේදී ලැබුණු අත්දැකීම් කොහොමද?

එහිදී අතිවිශිෂ්ට සංගීත ආචාර්යවරුන්ගෙන් සංගීතය පිළිබඳ ශිල්පීය ඥානයත් ඔවුන්ගේ ඇසුරත් ලැබීමට මට හැකිවුණා. ශරීන   විෂ්ණු ගෝවින්ද් ජෝග්, උස්මාන් ඛාන්, මක්ෂුඞ් අලි-ඛාන් වගේ අයගෙන් ඉගෙන ගන්න ලැබුණා. ශරීල   කෘෂ්ණ නාරායන, රතන ජංකර් වැනි පඬිවරුන්ගෙන්ද සංගීතය හැදෑරුවා. 1955දී සමස්ත ඉන්දීය වයලීන වාදනයෙන් පළමු ස්ථානය දිනා ගන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම 1956 වෙනකොට භාත්ඛණ්ඩ සංගීත විද්යාු පීඨයේ සිටි අති දක්ෂ සංගීතඥයන් 10 දෙනා අතරින් කෙනෙකුවීමටත් මට හැකිවුණා. මගේ නිර්මාණ හැකියාවට පැහැදුණු ශීරඅතර විෂ්ණු ගෝවින්ද් ජෝග් පඬිතුමා තම මුනුබුරාට නම තිබ්බෙත් අමරදේව කියලා.

අමරදේව මහත්තයා ආපහු ලංකාවට එන්නේ කොයි කාලෙද?

මට මතක හැටියට 1959 අවුරුද්දේ තමයි එන්නේ. ඒ එනකොට ගුවන්විදුලිය, ගරැද  මෆෝනය, සිනමාව ඔස්සේ හින්දි, දෙමළ අනුකාරක තනු පැතිරීයමින් තිබුණා. මම ගුවන්විදුලියේ දේශීය අංශයට සම්බන්ධ වෙලා සාම්පරුණාදායික දේශීය සංගීතයක් බිහිකරන්න උත්සාහ ගත්තා. අනුකාරක සංගීත සම්පරදරදදාය පරඅ ශතික්ෂේප කරලා සුනිල් ශාන්තයන්ගේ, ආනන්ද සමරකෝන් වැනි පරගරදවීණයන්ගේ ආභාසය ලබමින් දේශීය සංගීතයක් බිහිකර ගන්න කටයුතු කළා. ජන ගායනා, මධුවන්ති, රස මියුරු වැනි වැඩසටහන් ගුවන්විදුලිය හරහා විකාශය කළා.

අමරදේව මහත්තයට බොහෝ ගීත ලිව්වේ මහගමසේකර. මේ සේකර-අමරදේව සුසංයෝගය සිද්ධවෙන්නේ කොහොමද?

ගුවන්විදුලියට සම්බන්ධ වුණාට පස්සේ සම්භාව්යට වැඩසටහන් කීපයක්ම විකාශය කළා. ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණ සම්භාව්යශ ගීත වැඩසටහනක් තමයි මධුවන්ති. මේ වැඩසටහන නිෂ්පාදනය කළේ එච්.එම්. ගුණසේකර. ගීත ලිව්වේ මහගමසේකර. සංගීත උපදේශක මණ්ඩලයේ සරච්චන්ද්ර ත් හිටියා. සේකරගේ පරගමසතිභාන්විත ගී පදමාලාවලට මගේ හඬ මැනවින් ගැළපුණා. සේකරට තිබුණ ගීතය කාව්යමක් ලෙස රචනා කිරීමේ දක්ෂතාවක්. මේ මධුවන්ති වැඩසටහන හරහා තමයි අපි දෙන්නා එකතුවෙන්නේ. ඒ කාලේ බොහෝ දෙනා කිව්වේ ගී පොතයි-මී විතයි කියලා. ගී පොත සේකර. මීවිත මම.

අමරදේව මහත්තයට බිරිඳ මුණගැහෙන්නේ කොහොමද?

එයත් සංගීත දිවියේම කොටසක්. ගුවන්විදුලියෙන් දේශීය සංගීත සම්පරව මදායක් ගොඩනගා ගැනීමට ආරම්භ කළ තවත් වැඩසටහනක් තමයි ජන ගායනා වැඩසටහන. ජන ගී මේ වැඩසටහන හරහා විකාශය කළා. මේකට කවි ගායනා ඉදිරිපත් කරන්න ආව අයගෙන් කෙනෙක් තමයි විමලා. එයාගෙ කවි අහලා රසවත් වෙලා තමයි මගේ හිතේ ආදරයක් ඇතිවෙන්නේ. පස්සෙ මමත් එයාට කවියක් ලිව්වා.


මොකක්ද ඒ කවිය. කියන්න කැමතිද?

අතැර නොයන සෙවණැල්ලක් සේ    රඳන
නිතර සදාලන සුවසෙත                   රැකවරණ
කවිය තුළින් ජන ආරේ රස              මවන
සවිය ඔබයි විමලාවතී මන               නදන




උපුටා ගැන්ම - රාවය

සප්ත ස්වර ඒදණ්ඩේ නොවැටී ගිය... නිහතමානී පණ්ඩිතයා


සප්ත ස්වර ඒදණ්ඩේ නොවැටී ගිය.... නිහතමානී පණ්ඩිතයා 





'ඒ වෙද්දී මගේ වයස අවුරුදු හයයි. එක දවසක් අයියලත් එක්ක මුහුදු වෙරළේ සෙල්ලම් කරලා ගෙදර එද්දි රේල් පාර පනිද්දිම මගේ කකුල සරමෙ පටලැවිලා මාව රේල්පාර හරහා වැටුණා. ඔළුව උස්සලා බලද්දි කෝච්චිය මෙන්ම මෙහෙම අතළඟ. ඒ වෙලාවෙ තිබ්බ බයට මට නැඟිටගන්නත් බෑ. ඊට පස්සෙ යන්තම් බඩගාගෙන වගේ රේල් පාරෙන් එළියට ඇදෙනකොට රේල්ලුව මගේ ඇඟේ ගෑවි නොගැවී මගෙ ළඟින්ම මාරු වුණා.'


මරණය පෙනි පෙනී, ජීවිතය ලබාගත් ඔහු රමණීය මිනිසෙක්. ගීතය - සංගීතය ගැන කතා කරද්දී ලාංකේය භුමියේ ඉහළින්ම වැජඹෙන සරල රජිඳෙක්. ළතෙත් හදවත් නිවා සනහාලන කෘතහස්ත කලාවේදියෙක්. සප්ත ස්වර ඒදණ්ඩෙ නොවැටී ගිය නිහතමානී පණ්ඩිතයෙක්. ඔව්! ඔහු, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයි.


1927 දෙසැම්බර් 5 වැනිදා මොරටුවේ කොරළවැල්ලට අලුත් ඉරක් පායනවා. ඒ සූර්ය රශ්මියෙ උත්පාදකයා. වන්නකුවත්ත වඩුගේ ‍ෙදාන්් ජිනෝරිස් පෙරේරා හිරුට කුස දී කිරිදී ප්‍රාණය ලබාදෙන්නෙ, බාලාප්පු වඩුගේ මැගී මෙරායා මෙන්ඩිස්. මවු - පිය සෙවණෙ ජීවිතය ලබන හිරු, ඇල්බට් පෙරේරා උප්පැන්න සහතිකයෙ තියෙන විදියටම කියනවා නම් අමරදේවගේ සම්පූර්ණ නම, වන්නකුවත්ත වඩුගේ ‍ෙදාන් ඇල්බට් පෙරේරා.


අමරදේවගෙ පියා, ඒ කියන්නෙ ජිනෝරිස් පෙරේරා උන්නැහේ එකල මොරටු පුරවරයේම සුප්‍රසිද්ධ දක්‍ෂ වඩු බාස් කෙනෙක්. තාත්තා ගැනයි අම්මා ගැනයි පුංචි පුතා අමරදේවගෙ ස්මරණය මෙයා කරයි.


'මගෙ අම්මා මෙතෝදිස්ත ආගමේ. තාත්තා බුද්ධාගමේ. අම්මා පල්ලිත් යනවා. පන්සලුත් යනවා. ආගම ගැන ගෙදර අවුලක් තිබුණෙ නැහැ. ළමයි ඔක්කොම ඇදහුවෙ බුද්ධාගම. අම්මා මෙතෝදිස්ත පල්ලියෙ ගීතිකා කණ්ඩායමේ ගීත ගායනා කළා. තාත්තා වයලීන් වාදකයෙක් හින්දා වෙසක් දවසට කැරොල් කණ්ඩායම් පුහුණු කළා.'


සහෝදර සහෝදරියො හත්දෙනෙක් හිටිය ආදරණීය පවුලෙ 'බඩපිස්සා' තමයි අමරදේව. තමා ආසන්නයේ වැඩිමහල් සහෝදරයා වුණ 'ජස්ටින් පෙරේරා' ගෙ අකල් මරණයෙන් අමරදේවගෙ හිතේ ඇතිවුණ කම්පාව, හිඩැස අදටත් ශේෂව පවතිනවා.


අයියව අසාධ්‍ය වෙලා කොළඹ මහ ඉස්පිරිතාලෙට ගෙනාවා. එහෙදි අයියා මැරුණා. එදා කොළඹ ඉස්පිරිතාලෙ තිබුණ ඔරලෝසු කණුව, අදත් එතැන දකිනකොට මට පොඩි අයියා මතක් වෙනවා.


පුංචි සන්ධියෙ අමරදේවට ගුණ, නැණ, දැනුම ලබාදෙන්න පියා ඔහුව කොරළවැල්ලේ වාලුකාරාමයට රැගෙන යනවා. ගිහින් එහි නායක හාමුදුරුවන්ට පුංචි පුතාව භාර දෙනවා. එහිදී දැනුමෙ අත්පොත් මනාව පිරිමදින පුංචි පුතාව, අනතුරුව කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් කරනවා. පොතපතට වගේම වයලීනයටත් හා හා පුරා කියලා ආදරේ කරන්න අමරදේව පෙලැඹෙන්නෙ මෙන්න මේ අවධියෙදි.


'ඒ දවස්වල ගුරු අභ්‍යාස විද්‍යාලවල
විෂය පාඨමාලාවේ අනිවාර්ය දෙයක් වයලීනය ඉගෙන ගැනීම. පුහුණු ගුරුවරු පාසලට එනකොට වයලීනයත් අරගෙනයි එන්නෙ. හැබැයි ඔවුන්ට එය ගහන්නත් බෑ. වයලීනය අල්ලන්නත් බෑ. වයලීනය ටියුන් කරගන්න ගේන්නෙ අපේ තාත්තා ළඟට. ඒ හින්දා අපේ ගෙදර වයලීන් දහයක් පහළොවක් නැති වෙලාවක් හොයාගන්න බෑ. තාත්තා කැඩිච්ච වයලින් හදලත් දෙනවා. ඉතින් වයලීනය තමයි මං උදේ හවස දකින්නෙ.

දවල් පාසල් ගිහිල්ලා ආවම වැඩේම වයලීන් ගහන එක. ඉස්සෙල්ලාම ගැහුවේ බෝ එක නැතුව හරියට මැන්ඩලීන් ගහනවා වගේ තනි ඇඟිල්ලෙන්.
අමරදේවගෙ පාසල් දිවිය එක පාසලකට පමණක් සීමා වුණේ නැහැ. අවුරුදු 13ක පාසල් දිවියෙදි මොහු පාසල් හතරක ඉගෙනුම ලබනවා. පාසලෙන් පාසලට මාරුවෙන්නත් හේතුව වුණේ මොහුගෙ සංගීත සුදක්‍ෂභාවයයි. 'පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය වගේම බළපිටිය සිද්ධාර්ථයත්' අමරදේවගෙ දැනුම් ඥානය පෘථුල කරන පාසල් බවට පත්වෙනවා.


පාසල් දිවියෙන් අනතුරුව එකල ප්‍රකට සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර්ගෙ වාද්‍ය කණ්ඩායමට බැඳෙන මොහු 'කොලොම්බියා තැටි සමාගමේ ගීතවලට' වාදන සහාය සපයනවා. මේ අතරතුර කාලෙ සිදුවුණු අමතක නොවන සිදුවීමක අමරදේවගෙ මතකය මෙන්න මේ විදියට නවතිනවා.


'ඒ දවස්වල ගවුස් මාස්ටර්ගෙ සංගීත කාර්යයේ නිරත වෙන එක තමයි එකම සතුට. යන්න එන්න බස් ගාස්තුයි, කන්න බොන්න කීයක් හරි තිබුණමයි හොඳටම ඇති. තැටිගත කිරීම්වලට ගියාම සල්ලි ඉල්ලන්නෙත් නෑ. ඔහොම ඉඳලා ඉස් ඉස්සෙල්ලාම කොලොම්බියා සමාගමෙන් මගේ අතට ලැබුණා රුපියල් 80ක චෙක් එකක්. ඒක පොරෝලිස් ප්‍රනාන්දු සමාගමෙන් මාරු කරගෙන කොටුවේ
පළමු වැනි හරස් වීදියෙන් ට්‍රෑම් කාර් එකකට නැග්ගා ග්‍රීන් ස්ටී්‍රට් එකේ. ගවුස් මාස්ටර්ගෙ ගෙදරට ට්‍රෑම් එකෙන් බැහැලා බලනකොට පික්පොකැට්කාරයෙක් අතේ තිබුණු රුපියල් 80ට විදලා. මේ කතාව ගවුස් මාස්ටර්ට කිව්වම මට තවත් රුපියල් 50ක් දුන්නා.


අමරදේව කියන කෘතහස්ත කලාවේදියා, අග්‍රගණ්‍ය සංගීතඥයා තම දිවියෙ සංගීත ඥානයෙන් පළමු වතාවට ලබාගත්ත මුදල පෙනි පෙනී අහිමි වුණේ ඒ ආකාරයටයි.
ශ්‍රී ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය වන 'අශෝකමාලා' චිත්‍රපටයෙ සංගීත අධ්‍යක්‍ෂණය කරන්නෙ ගවුස් මාස්ටර්. සහාය සංගීත
අධ්‍යක්‍ෂණය හා වයලීන් වාදනය කරන්නෙ අමරදේව. ඒ අවධියෙ නමින් ඇල්බට් පෙරේරා. ඊට අමතරව 'ඇයි කළේ යමෙකු ආලේ, භවේ ගීත හැරදා' කියන ගීත ගයන්නෙත් මොහුමයි. ඒ වගේම චිත්‍රපටය ඇතුළාන්තයෙ හිඟන්නකුගෙ චරිතය නිරූපණයටත් මේ සිරා ඕභතතඥබ එක කැපවෙනවා.

ඔන්න ඒ ගැන අමරදේවගෙ මතකය!
අශෝකමාලා චිත්‍රපටගත කළේ ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ. හුඟ දෙනෙක් දන්නෙ මම ඒ චිත්‍රපටයේ හිඟන්නාගෙ චරිතයට රඟපෑවා කියලා. ඒත් මම රඟපෑවේ හිඟන්නාගේ චරිතය විතරක් නෙවෙයි. මෙහි එක් නැටුම් ගීතයක් එනවා. 'ප්‍රීති ප්‍රීති චන්ද්‍රා ලෝකේ' කියලා. ඔය නැටුම් ගීතයේදි නැටුම් නිළියො එක්ක මමත් නැටුවා. ශාන්ති කුමාර් තමයි මට චිත්‍රපටයට නටන්න හදිසියේ පුහුණු කළේ.


ඉන්දියාවට ගිහින් ආයෙ ලංකාවට ආවට පස්සෙ මොහු කොල්ලුපිටියේ පිහිටලා තිබුණ චිත්‍රසේනගෙ කලා ආයතනය සොයා යනවා. ඒ අමරණීය කලා නිකේතනයේදී ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ශේෂා පලිහක්කාර, ප්‍රේම කුමාර, වසන්ත කුමාර, පණීභාරත වැනි අසමසම මිනිසුන් මොහුට හමුවෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පෙරදිග කලා සංගමයේ 'මේලා' කියන සංගීත ප්‍රසංගයට එකතුවෙන අමරදේව එහි සංගීත අධ්‍යක්‍ෂණය සිදු කරනවා. ඒ වගේම චිත්‍රසේනගේ මුල් මුද්‍රා නාට්‍යවලියේ චණ්ඩාලිකා, විජයාවතරණය, රාවණා, ර්ථීචඨඥචදබ ධට ඹ්චදඬච කියන මුද්‍රා නාට්‍යවලත් ප්‍රමුඛයෙක් හැටියට දායකත්වය සපයනවා.


ටික කාලයක් ගතවෙනකොට ගුවන් විදුලි ශිල්පීන් වර්ග කරන්නට ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එන භාත්ඛණ්ඩ විද්‍යාලයාධිපති රතන්ජන්කර් මහතා පවත්වන සංගීත
පරීක්‍ෂණයටත් මොහු ඉදිරිපත් වෙනවා. එහිදී ගායන හා වාදනයෙන් විශිෂ්ට ශේ‍ර්ණියේ ශිල්පියකු හැටියට මොහු වර්ග කෙරෙනවා. ඒ ජයග්‍රහණය එක්ක වැඩිදුර ඉගෙනීමට ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමිවිය යුතු යැයි, එය ලබාදිය යුතු යැයි කියලා පුවත්පත් ආයතනයකින් උද්ඝෝෂණයක් අරඹනවා. ඒ ඩී.වී. ධනපාල කියන විශිෂ්ට පුවත්පත් කලාවේදියා. ඒ උද්ඝෝෂණයෙ ප්‍රතිඵලයක් හැටියට ඒ පුවත්පත හරහාම මොහු වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මේ අතරතුරේ පැහැදිලි ප්‍රශ්නයක් යොමු කරනවා.


'මහත් අනාගත බලාපොරොත්තු ඇතිව ලංකාවෙ සිටින ඉහළම කෞශල්‍යයක් තියෙන කලාකරුවා වන ඇල්බට් පෙරේරාවද අපි ඉන්දියාවට යවන්න හදන්නෙ. මෙයා නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකාව, මෙයා එන්නෙත් ශ්‍රී ලංකාවට එහෙමනම් ඇල්බට් පෙරේරා කියන නම මෙයාට බාධාවක් වෙයිද කියා අපි සිතිය යුතුය.'
ඒ අනුව එදිරිවීර සරච්චන්ද්‍රයන්ම මොහුට නමක් යෝජනා කරනවා 'අමරදේව' කියලා. අදටත් අපි ඔබව හඳුනන්නෙ ඇල්බට් කියන නමින් නෙවෙයි, 'අමරදේව' කියන නමින්.


ඉන්දියාවෙ භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයෙදි දක්‍ෂ වයලීන් වාදකයෙක් වුණ 'විෂ්ණු ගෝවින්ද ජෝන්' අමරදේවගෙ ගුරු දේවයන් බවට පත්වෙනවා. භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියෙ අමරදේවගෙ හදවතේ මින්දද හීසර වැදී සැලෙන්නෙ 'මාලතී චැටර්ජී' ළඟයි. ඒත් ඒ ප්‍රේමය 'මනෝ ලෝකයට සීමා වූ ප්‍රේමයක් කියලයි පෙර දිනයක ඇයට පෙම් කළ අමරදේව කියන්නෙ.....
ආයෙ ඉන්දියාවෙ ඉඳන් මොහු ලංකාවට පැමිණෙන්නෙ 1959දීය. ඒ කාලයේදීම 'ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයා' හැටියට අමරදේව පත්වීම් ලබනවා. කාලෙකදි ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වන මොහු නිදහස් සංගීතඥයකු බවට පත්වෙනවා. චිත්‍රසේනගෙ 'කරදිය, නල දමයන්ති' වැනි මුද්‍රා නාට්‍යවල සංගීත නිමැවුම්කරු හැටියටත් ඔහු පත් වෙනවා.


තම හ¾ඩින් - හැකියාවෙන් හදවත් කෝටි ගණනක් සැනසුව අමරදේව ආදරය අයදින්නෙ, විමලා ගුණරත්නගෙන්. ජීවිතයේ තනි මංසල අතරමං නොකර - අමරදේවට හුදෙකලාවෙ සුසුම් හෙළන්න ඉඩ නොදුන් ඇය සැබෑම බිරියක්. ආදරය ඇතුළෙ ආරාධනා පිළිඅරන් මේ යුවළගෙ තුරුළට වඩින දරුවන් වෙන්නෙ රංජන, සුභානි හා ප්‍රියංවදා අමරදේවයි.


පසුකාලීනව රජයේ ලලිත කලායතනයේ ස්ථිර තනතුරක් ලබා ගන්න අමරදේව කාලෙකදි එයිනුත් ඉවත් වෙලා නිදහස් සංගීතඥයෙක් බවට පත්වෙනවා. පිළිගැනීම් නහුතයක්, සම්මාන අහුරක් හිමි වුණත් නිහතමානීත්වය දශමයක්වත් අඩු නොවුණු අමරදේව අමර දේවයෙක් හැටියටම ගුණාංග ඉස්මතු කරනවා.


රන්මුතුදූව, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගැටවරයෝ, රෑන ගිරව්, තුන්මං හන්දිය' කියන චිත්‍රපට සමුදායක් ස්වකීය නාද රටාවෙන් ඒකාත්මික කළ මොහු එහි ගීතමය නාද මනාව කැටි කරනවා. වදන් - සංගීතය - භාව ප්‍රකාශනය' කියන අංග එක් කරලා ගායනය දියත් කරන 'පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව' පිළිබඳ නැවත නැවතත් අප සිහිපත් කළ යුතුය. සැබෑ කලාකරුවන් හිඟ යුගයක - අඳුරු වලා සමාජයක - රිදී ඉරක් වුණ සංගීතවේදියාණෙනි අපේ ජීවිත සාරයත් රැගෙන තව බොහෝ කාලයක් 'ඔබ' ජීවත් විය යුතුයි!!!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

උපුටා ගැන්ම - මව්බිම පුවත් පත ( http://www.mawbima.lk/82-21968-news-detail.html)

සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි

සේකර නොමැති ජීවිතය මට පදවැලක් නැති ගීයක් වගෙයි

ආචාර්ය පණ්ඩිත් අමරදේව
‘ගී පොතයි – මීවිතයි’


මහගමසේකරයනුත් ආචාර්ය පණ්ඩිත් අමරදේවයනුත් කලා ලෝකයේදී හැඳින්වුණේ එලෙසය. ඔවුන් දෙදෙනා ඒකාත්මිකයන්ව නිර්මාණය කළ ගීත, සිංහල සුභාවිත ගීත කලාවේ සම්භාව්‍ය කෘති ලෙස බුහුමන් ලබයි.
සේකරගේ වියොවින් තමා බෙහෙවින් හුදෙකලා වූ බව අමරදේවයෝ පසුකලෙක මහත් විස්සෝපයෙන් යුක්තව කියා සිටියහ. ඔහු නොමැති ජීවිතය පදවැලක් නොමැති කවියක්, නාදයකට නොනැඟුණු සංගීතයක් ලෙසිනි අමරදේවයන් සංකේතාත්මකව දක්වා සිටියේ.
සේකරයනුත් අමරදේවයනුත් පළමු වතාවට නිර්මාණාත්මකව එක්වූයේ ගුවන්විදුලියේ ‘මධුවන්ති’ සංගීත වැඩසටහනෙනි. 1959 දී අමරදේවයන්ට ගුවන්විදුලියේ වාදක මණ්ඩල ප්‍රධාන තනතුර පිරිනැමිණි. ඊට වසරකට පසු සේකර ගුරු වෘත්තිය අතැර නිබන්ධ සම්පාදකයකු ලෙස ගුවන්විදුලියට බැඳුණේය.
එසේම 1960 දී සිංහල සංගීතය උසස් කිරීම සඳහා කරුණු සොයාබලා වාර්තා කිරීමට ගුවන්විදුලිය විසින් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලදී. ‘මධුවන්ති’ බිහිවූයේ මේ කරුණු සියල්ල පසුබිමේ තිබියදීය. (මෙවන් ප්‍රබුද්ධ සංගීතමය වැඩසටහනක් ඉදිරිපත් කිරීමට යෝජනා කෙරුණේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් වෙතින් බවක් පැවසේ.)

වරක් ප්‍රවීණ කලාකරු සෝමබන්දු විද්‍යාපති ‘සේකරත් සමඟ එක්ව අලුත් යමක් කරන්නැ’යි අමරදේවයන්ගෙන් ඉල්ලා සිටියේය. ‘මධුවන්ති’ සංගීතමය විචිත්‍රාංගයට එකී නම යොදන ලද්දේ අමරදේවයන් විසිනි. උත්තර භාරතී රාග පද්ධතියේ මධුවන්තී නමින් රාගයක් පවතින බව මෙහිලා සිහිකටයුතුය.
’මළ ඉර බසිනා හැන්දෑ යාමේ’ ගීතය අමරදේව - සේකර නිර්මාණ සුසංයෝගයේ පළමු ඵලය වෙයි. කෙසේ වෙතත් තමාගේත් සේකරගේත් නිර්මාණ සුසංයෝගයේ අග්‍රඵලය ‘ඈත කඳුකර හිමව් අරණේ’ ගීතය බව අමරදේවයෝ කියති.
එය නිර්මාණය වූයේ චිත්‍රසේනයන්ගේ ‘නළ දමයන්ති’ මුද්‍රා නාටකය වෙනුවෙනි. එය එම ඉඟි නළුවේ තේමා ගීතය විය. එම අතිවිශිෂ්ට ගීතය බිහිවූයේ රාජගිරියේ මාදින්නාගොඩ කුඩා කඳු ගැටයක් මත පිහිටි ශේෂා පලිහක්කාරගේ නිවහනේදීය. කොටින්ම නිවෙස වටා සුදුවැලි අතුල මිදුලේය. එම මහරු අවස්ථාව අමරදේවයන් සිහියට නඟන්නේ මෙපරිදිය.


”සුදු වැලි මතින් සඳරැස් ගලා බසී. සේකරත් මාත් දැන් සඳකැන් සිඹිනා සුදු වැලි මතය. සේකර මුමුනන්නට වූයේය. මුවින් එක් එක් පද ගිලිහිණි. අපි දෙදෙනා ඇසිල්ලකින් එක් කුටියක යහන මතට වීමු. සේකර කඩදාසියක් රැගෙන කුරුටු ගාන්නට විය. දැහැනින් අවදි වූ හේ මා අත තැබූ කඩදාසියෙහි මෙය දිස් විය.

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ළපලු හෙවණේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ


දිනක් එක්තරා රාත්‍රියක සේකර ගම්පහ ලීලා පොත්හලේ අධිපති කේ.එන්.ඕ.විජේදාස (ඔහු මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ සොහොයුරෙකි) සමඟ මෝටර් රියක නැඟී අස්ගිරිය වෙල්යාය අසබඩින් ගමන් කරමින් සිටියේය. හදිස්සියේම වාහනය නැවැත්වූ සේකර කළුවරේම වෙල දෙසට ගමන් කළේය. ඔහු මඳ වේලාවක් අහස දිහා බලා සිටියේය.
ඔහු ‘පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය ලිව්වේ ඉන් හටගත් අසීමිත චමත්කාරයෙනි. එසේ වුවත් ඒ ගීතයට පාදක වූ එක්තරා අනුභූ®තියක් ද සේකර සතුව තිබිණි. ගුවන්විදුලි වැඩසටහනක දී සේකර ප්‍රවීණ වැඩසටහන් සම්පාදකවරයකු වූ පාලිත සමරසිංහ සමඟ කියූ ආකාරයට එය ප්‍රේමයේ බිඳවැටීමක් පිළිබඳ වූ අනුභූතියකි.

”පාළු අඳුරු නිල් අහස මමයි’ ගීතය මගේ ජීවිතයේ එක්තරා අත්දැකීමක් කියලා කියන්න පුළුවන්. තරුණ වියේදී කාලාන්තරයක් තිස්සේ මම පෙම්කළ යුවතියකගේ අතගන්න බැරිවුණා. කුලමල, සිරිත් විරිත් ප්‍රශ්න නොසිතපු අන්දමට හරස්වුණු නිසා.”
මහගමසේකරයන්, අමරදේවයන් නිර්මාණ සුසංයෝගය චිත්‍රපට ක්ෂේත්‍රයට ද විශිෂ්ට ගීත සම්ප්‍රදානයක් බිහිකිරීමට හේතුභූත වූයේය. ‘සත්සමුදුර’ (සිනිඳු සුදු මුතු තලාවේ), ‘පරසතුමල්’ (තොලින් තොලට වෑහෙන ගී සින්දූ), ‘රන්සළු’ (සිරිපා පියුමේ), ‘බිනරමලී’ (රටකින් රටකට පාර අසාගෙන) වැනි ගීත ඊට නිදසුන්ය. ගුවන් යානයක නැඟී ඇමෙරිකාව බලා ගිය ගමනකදී කවුළුවෙන් දිස්වූ පුළුන් අතුරා ලූවාක් වැනි සුදු පැහැ වලාකුළු තට්ටුව නෙත ගැටි සේකරට ඉබේටම වාගේ මේ ගීතයේ පදවැල් සිහියට ආවේය.
අමරදේවයන් මේ ගීයට තනුව යෙදුවේ අඹේපුස්සට නුදුරු ගමක පිහිටි ගල් කුළින් හා නිල් තුරුලියෙන් සැදි උස් කඳු මුදුනකය. සේකර ද ඒ අවස්ථාවේ එහි සිටියේය. සේනාසනයක පවත්නා වැනි සාන්ත ස්වභාවයක් එහි වූ බව සේකර කියා ඇත.
තමාගේ ‘තුංමං හන්දිය’ චිත්‍රපටයට ප්‍රේක්ෂකයන් වෙතින් ලැබුණ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වූ සේකර අතින් කවියක් ලියැවිණි. ඒ මෙ පරිද්දෙනි.

මා මියගිය දවසක
සොහොන් කොතේ
ලියන්න පෙම් ගීයක්
නොදන්න අත් අකුරින්
අඩ සඳ පායා එන
සීතල රැයක
රැහැයියන්ගේ රැව් මැද
එතකොට ඒ ගී හඬ මට ඇසේවි
මේ ලොවේ යම් කිසිවකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී හඬ මට කියාවි


පසුව එයින් ගීතයක් පබැඳූ සේකර එය අමරදේවයන් වෙත මෙබඳු කෙටි සටහනක් ද සමඟ මෙසේ යොමු කෙළේය.

ප්‍රිය අමරේ;
පහත සඳහන් ගීය සරල ගී වැඩසටහනකට සුදුසු යැයි සිතේ. ගීයේ තේමාව මෙයයි. කාගෙන් හෝ ආදරයක් බලාපොරොත්තු වෙමින් මුළු ජීවිත කාලයම ගෙවා - එහෙත් ඒ නොලැබී ගිය මිනිසෙකුගේ සිතුවිල්ලකි. රාත්‍රියක සොහොන් පිටියක ඇති නිහඬතාව - කලකිරීම – පාළුව - ශෝකාකූල ගතිය ආදී හැඟීම් දනවන සංගීතයක් සුදුසු යයි සිතේ.

මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්
දුක් ගීයක් ලියනු මැනව

අඩසඳ බැසගෙන යන සඳ
රෑ යාමේ
රෑහි අඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවි

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඩින් මට කියාවි


අමරදේවයන් පූර්වෝක්ත ගී පද තම නිර්මාණයේදී තම අභිමතය පරිදි සංශෝධනය කරගත් ආකාරය එම ගීතය අසන ඔබට මැනැවින් පසක් වනු නොඅනුමානය.
කෙසේ වෙතත් අමරදේවයන්ට ලියූ ගී අතරින් සේකර පෞද්ගලිකව වඩාත් ප්‍රිය කළේ ‘චන්දෝ මා බිළිඳේ’ ගීතයටය.
සේකරගේ අවමඟුල් උත්සවයේදී සියලු කලාකරුවන් වෙනුවෙන් අවමඟුල් සභාව ඇමතුවේ අමරදේවයන්ය. සෑයට ගිනි ඇවිලෙද්දී වා තලයට මුසු වූයේ සේකර ලියූ අමරදේවයන් ගැයූ මේ ගීතයයි. (එය සේකර අමරදේවයන්ට ලියූ මුල්ම ගීතය ද වූයේය) ඉතාම ශෝකී ස්වරයෙන් යුක්තව එය ගායනා කෙරිණි.

”මළ හිරු බසිනා හැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරේ සැඟවී – අඳුරට ඉඩදී
ඔබගෙන් වෙන්වී
මම යන්නම්”



සංසාරික මිතුරාගේ දේහය රැගත් සෑය දැවී අළුවී ගිය මොහොතේ පටන් අමරදේවයන්ගේ හුදෙකලා ජීවිතය ආරම්භ වූයේය.


උපුටා ගැන්ම - 
මහගමසේකර 35 වැනි ගුණානුස්මරණය නිමිත්තෙන් . සිළුමිණ පුවත් පතට  සුනිල් මිහිඳුකුල සැකසූ ලිපියකි ( http://www.silumina.lk/2011/01/09/_art.asp?fn=av1101094&p=1)