සිංහලේ ස්වර්ණ ස්වරය



ඔහුගේ මුවින් නැඟෙන්නේ සිංහල ජනතාවගේ හද පතුලෙහි උපන් ගී රාවයයි. සිංහල ජනතාවගේ සෝබර ගී හඬය. සෑම සිංහලයකුගේම හදවතෙහි වෙණ තත් ඒ හඬට අනුකම්පනය වන්නේ එබැවිනි. 'ඔහුගේ හඬ කනෙහි වැකුණු කළ සෑම සිංහලයකුගේම දෑසට කඳුළු උනයි' යනුවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රයන් එසේ ප්‍රකාශ කර ඇත්තේ අන් කවරකු ගැන නොව ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ගැනය.



මහා ගාන්ධර්වයාණෝ මා සුහදශීලිව පිළිගත්හ. එහි එතුමන්ගේ නිරහංකාර බව රැඳි තිබූ අතර දෙතො‍ෙල් රැඳි සිනහවට මගේ විඩාබව පහව ගියේ ය. ඒ, මා මෙම ගාන්ධර්වයන් දුටු ප්‍රථම අවස්ථාව ය. ඔහු සරලය. චාම්ය.

“කොළොම්තොට නැත මහලු වී

අවන්හල නැත පැරණි වී

එදා සඳමයි අදත් යෞවනයේ...

බලන් කැඩපත සොඳුරියේ...”

අතර මඟදී ඇසුණු ගී පදයක කොටසක් නැවතත් මට ඇසෙන්නට වූයේ ඔහු දැකීමෙනි. හේ මට අසුන් පනවා තමාද අසුන් ගත්තේ ය. ඒ මා අභිමුඛවය.

මහා ගාන්ධර්වයාණන් වෙතින් මා හට අසන්නට ගැටලු බොහෝ ය. එහෙත් ඒවා සියල්ල අසන්නට නොහී මම ඔහු දෙසම බලා සිටින්නට වුණෙමි. මා කොතැනකින් පටන් ගත යුතුද? ප්‍රථමයෙන් මා අසන්නේ කුමක්දැයි යන්න පිළිබඳ පවා මට නිවැරැදි අදහසක් නොවීය.

එහෙත් මා කොතැනකින් හෝ පටන් ගත යුතුය. “ඔබගේ සැප සනීප කෙසේද?” යනුවෙන් මම ඔහුගෙන් ඇසීමි.

 ‘සාමාන්‍ය තත්ත්වයෙන් ඉන්නවා’ යැයි එතුමන්ගේ පිළිතුර විය.

මම - ඔබ මේ දවස්වල මොනවද කරන්නේ...?

ඔහු - අලුත් ගී තනු කිහිපයක් නිර්මාණය කළා. දෙරණ රූපවාහිනි නාලිකාවේ ටෙලි නාට්‍යයකට තේමා ගීතයක් කළා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් එවූ ගී පද රචනාවක් මගේ හඬින් ගැයුවා. වියපත් පියතුමකු විදේශ ගතවූ දරුවකු එනතුරු බලා සිටීම තමයි එහි අදහස

ගාන්ධර්වයාණන්ගේ දෙතොල් අතර නැවතත් සිනාවක් ඇඳිනි. අනතුරුව හේ ගයන්නට පටන් ගත්තේ ය.

මම - ඔබ මේ දවස්වල මොනවද කරන්නේ...?
ඔහු - අලුත් ගී තනු කිහිපයක් නිර්මාණය කළා.

‘සෙවනැලි මිය යන හැන්දෑවේ

පිල උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ..

නෙතු පියවෙන්න කලින්



එනවද මගෙ පුතුනේ

සී පද මුමුණන්නේ ඒ හඬ ඇහෙනවාදෝ...

ඒ ඔහු අලුතින් ගැයූ ගීතයක පදයි.

මම - සංගීතය පිළිබඳ ඔබේ නිර්වචනය මොන වගේ ද?

ඔහු - සංගීතය තමයි සකළවිධ කලාවන්ගේ ඉතා සියුම් කලා මාධ්‍යය. වාග් ලාවන්‍යත්, මධුර ස්වරයත් දෙකෙහි අනුකූලතා පූර්වක සංයෝගය ඊට එකතු විය යුතුයි . මින් කෙනෙකුගේ හදවතට අමතන්න පුළුවන්... ඉතා හෘදයාංගමව

මම - ඔබ ගායනයෙන් හෝ වාදනයෙන් ආමන්ත්‍රණය කරන්නේ කා හටද ?

ඔහු - සංවේදී හදවතට... හැම ගීතයක්ම කාව්‍යයක් විය යුතුයි. හොඳම කාව්‍ය ගේය කාව්‍ය. ග්‍රාම්‍ය කාව්‍යයත් තියෙන්න පුළුවන්. මා ආමන්ත්‍රණය කරන්නේ හොඳ රසික පරපුරක් වෙනුවෙන්.. සහෘදයන් වෙනුවෙන්. කලා රසිකත්වය උප්පතියෙන්ම වෙන එකක්. නිසර්ගයෙන් එන්න ඕනේ.

සොඳුරු සිනහව මැකී නොයයි. මම ඔහුගේ කතාවට ආසක්තව සිටින්නෙමි. මහා ගාන්ධර්වයාණෝ මුනිවත රකිති. ඔහුගේ සිත වර්තමානයෙන් මිදී අතීතය කරා පා සටහන් තබනවාත් වැනිය. මම ඊට බාධාවක් නොවෙමි.

වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා නමින් හේ මොරටුව කොරළවැල්ලේ නැමැති ග්‍රාමයෙහිදී ජන්ම ලාභය ලබයි. ඔහුගේ පියා වඩු ශිල්පයේ සියුම් කැටයම් කලාවෙහි නිපුන වූවෙකි. හේ කලාවට ලැදි අයෙකි. සිය පියාණන් වෙතට අලුත්වැඩියාව පිණිස ගෙනැවිත් දෙන වයලීන දකින ඇල්බට් පෙරේරා නම් දරුවා ඒවා කෙරෙහි බැඳේ. තම සත්වැනි ජන්ම දිනයට පියාණන් වෙතින් තුටු පඬුරක් ලබයි. ඒ ජපන් වයලීනයකි.

කොරළවැල්ල ශ්‍රී සද්ධර්මෝදය ඔහුගේ ප්‍රථම පාසලයි. සද්ධර්මෝදය සෙවනෙහිදී කු.ජෝ. පෙරේරා මුල් ගුරුතුමා මඟින් මහා පඬිරුවනක් වූ කුමාරතුංග මුනිදාසයන් දැන හඳුනා ගැනීමට හැකිවිය. කුමාරතුංගයන්ගේ නිවස වූ ‘හෙවන’ පානදුරා ගඟේ දෙගොඩ පා කෙරෙන තොටුපළ ය. මේ ‍ෙහවන යට දී ඔහුගේ ප්‍රතිභාව එළිපෙහෙළළි වන්නට පටන් ගත්තේ ය. පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය, බලපිටිය සිද්ධාර්ථ ආදී පාසල් කිහිපයකට අධ්‍යාපනය ලබන්නට ඇල්බට් පෙරේරාට ඉඩ ලැබිණි.

සිනමාපට සංගීත අධ්‍යක්ෂණය කළ මොහොමඩ් ගවුස් මුණගැසීම ඇල්බට් පෙරේරා නම් යෞවනයාගේ ජීවිතයෙහි එක්තරා කඩඉමක් විය. ගවුස් මාස්ටර්, යෞවනයාගේ සහජ කුසලතා මැනවින් හඳුනාගනියි. ඔහුගේ වාදන මණ්ඩලයේ ප්‍රධාන වයලීන වාදකයා ලෙස ඇල්බට් පෙරේරාව තෝරාගන්නේ එබැවිනි. මේ අතර ලංකා ගුවන් විදුලියෙහි ශිල්පීන් වර්ග කිරීම කළේ ය. මෙය සඳහා පැමිණියේ භාරතයේ සංගීත විශාරදයකු වූ මහාචාර්ය රතන්ජංකර් පඬිතුමාය. තරුණ ඇල්බට්ව ඉහළම ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙස නම් කරන ලදි.

එවක මුද්‍රා නාටක නිර්මාණය කළ ශිල්පීහු කිහිපදෙනා ඒවායෙහි සංගීතය සම්බන්ධයෙන් මේ යෞවනයාගේ සහාය පැතූහ. ප්‍රේමකුමාර එපිටවෙලගේ ‘සැළලිහිණි සංදේශය’ නම් මුද්‍රා නාටකයට ඔහු එක් වූයේ ය. එහිදී සාම්ප්‍රදායික සමුද්‍ර ඝෝෂ විරිතින් ලියැවුණු සිංහල කවියට අපූර්ව සංගීතමය විවරණයක් ඇල්බට් පෙරේරා වෙතින් නිර්මාණය විය. ඒ සමඟම කවි ගායනාවේ අභිනව සම්ප්‍රදායක්ද බිහිවිණි.

ඇල්බට් පෙරේරාගේ කන්කළු කවි ගායනාවට මහාචාර්ය සරච්චන්ද්‍රයන් හා ඩී.බී. ධනපාලයන් වශී කෘත විය. ඔවුනගේ අදහස වූයේ මෙම යෞවනයා භාරතයට ගොස් තවදුරටත් සංගීතය ගැඹුරින් හැදෑරිය යුතු බවය. ඔවුහු ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කළහ. ධනපාල කර්තෘ ධූරය දැරූ ලංකාදීප පත්‍රය මඟින් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළේ ඒ වෙනුවෙනි. එයට ජනතා ආධාර ගලා ආහ. සහෘද ආශිර්වාදය මධ්‍යයේ තේරුණු සංගීතඥයා භාරතයේ ලක්නව් හී භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාලයට ඇතුළත් වූයේ ය. ඒ ඇල්බට් පෙරේරා නමින් නොව අමරදේව නමින් භෞතීස්ම වීමෙන් පසුවය.

1955 වසරේදී හෙතෙම සමස්ත ඉන්දීය වයලීන වාදන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය. 1955 වසරේදී භාත්ඛණ්ඩේ විද්‍යාපීඨයේ අනුබද්ධ විද්‍යාල ඇතුළත් වයලීන වාදන පරීක්ෂණයෙන් ද ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අමරදේවයන්ට හැකිවිය. ඔහු භාරතයේදී ශ්‍රී විෂ්ණු ගෝවින්ද, ජෝන් උස්මාන් ඛාන්, මන්ෂුඩ් අලිඛාන්, විනායක් මුකුන්ද්ලෙලේ, කාදම්බරී රංග රාඕ වැනි අග්‍රගනයේ ආචාර්යවරුන් ඇසුරේ ගායනයත්, වාදනයත් ප්‍රගුණ කළේය. එසේම හේ ගායනය, වාදනය දෙඅංශයෙන්ම විශාරද උපාධිය ලැබීය.

අමරදේව නම් මහා ගාන්ධර්වයාණෝ අතීතාවලෝකනයෙන් මිදෙති. ඒ මගේ බාධාකිරීමකිනි. ‘ඔබ ගයන්නේ සෞන්දර්යාත්මක බවින් අගතැම්පත් වූ ගායනා පමණක් නොවේදැයි’ මා ඇසූ පැනයට ඔහු සිනාමුසුව පිළිතුරු දෙන්නේ මේ ලෙසය.

'සෞන්දර්ය ගීතය තුළත් මානව හැඟීමක් දැනෙන්න අවශ්‍යයි'.

''සන්නාලියනේ සන්නාලියනේ

සීතල කණ එළියේ

මැළවුණු මුහුණින් වෙව්ලන දෑතින්

කාටද සළුව වියන්නේ..”

මේ ගීතය දුකක් වුණත් කාව්‍යාත්මකව ආවොත් කරුණා රසයක් වෙනවා.

ෂෙලී නැමැති ඉංග්‍රීසි කවියා කියා තිබෙනවා.

“වගකීම් ගොර සපුන්

සිත බඳින ලද යදම්

සිඳහෙලන මහා සංගීතයයි” කියලා.

ලියෝ ටොල්ස්ටෝයි කියනවා සකල විධ කලා සංගීතයේ පරිපූර්ණත්වය අපේක්ෂා කරයි කියලා. ගුත්තිලයේ සඳහන් වෙනවා. නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා යනුවෙන්.

සෞන්දර්යාත්මක ගීත පමණක් නොවේ, තුංමංහන්දිය, සිකුරු තරුව, පරසතුමල්, ගම්පෙරළිය වැනි දෘශ්‍ය කාව්‍යයන් සඳහා තේමා සංගීතය හා විවිධ තේමා ඔස්සේ ගායනා කරලා තිබෙනවා. මහගම සේකර, ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ වැනි පුද්ගලයන්ගේ ගීතත් මා ගායනා කරලා තියෙනවා.

‘සිරි පා පියුමේ රොන් සුනු තැවරේ...’ රන්මුතුදූව සඳහා ගැයූ ‘පාරමිතා බල පූජිත පූජිත...’ වැනි බොදු ගීතත්, දේශීය ආරක්ගත් ගීතත් ඒ වගේම ජනප්‍රිය සරල ගීතත් මා ගායනා කළා. ‘සිරි සාර බුලත් විට’ , ‘පිපී පිපී රේණු නටන’ වැනි ගීත.

දෙලොවක් අතර දෘශ්‍ය කාව්‍යයේ එන ‘ගයන ගැයුම් නටන නැටුම්’ යන ගීතය කැලිෆ් ෂෝ කියන කණ්ඩායම් ගීත ශෛලියෙන් ගත්තේ. මා හැම ශෛලියක්ම ආශ්‍රය කළා..”

මම - ඇතැම් ප්‍රවීණයන් නව පරම්පරාව හෑල්ලුවට ලක්කරනකොට ඔබ ඔවුන්ව අගය කළා. ඔබ ඔවුන් හා සමීපව කටයුතු කළා. නව පරම්පරාව ගැන ඔබගේ අදහස...?

ඔහු - රූකාන්ත ගුණතිලක ගායකයා හරි ශ්‍රේෂ්ඨයි. අගය කළ යුතුයි. සන්තුෂ් - භාතිය ගේ තනු හොඳයි. ජනප්‍රිය සරල තනු. නමුත් උත්තම ගනයේ සංගීතය වෙනම එකක්.

හොඳ සංගීතඥයන් බිහිවෙනවා දකින්න පුළුවන්. හොඳ පිරිසක් ඉන්නවා. ඒත් තව කියන්න අමාරුයි. පෙර පරපුරේ වික්ටර් රත්නායක, සනත් නන්දසිරි වැන්නෝ හොඳ දක්ෂ සංගීතඥයන්.

සියබස් ලකරේ සඳහන් වෙනවා පතපොත ආශ්‍රයත්, පඬිවරුන්ගේ ගුරුවරුන්ගේ ආශ්‍රයත් දෙකම තියෙන්න ඕනේ. ඔහු හෝ ඇය තෝරාගත් කලා මාධ්‍යයේ සතතා අභ්‍යාෂයේ යෙදිය යුතුයි. මේ තුනෙන් පිරිපුන් කලාකරුවකු වෙන්න පුළුවන්. ඒ එක්කම ප්‍රතිභාවත් තිබිය යුතුයි. සංගීතය බෙදන්න පුළුවන්. උත්තම, මධ්‍යම හා අවර යනුවෙන්.

සංගීතයේ දේශීයත්වය සොයා ගිය ගමනක් මගේ තියෙනවා. සිංහල බසට අපර නාදය තෝරා ගත්තේ භාෂාව යන ආකාරයට. භාෂාවක උච්චාරණ ලීලාව අනුව තනුව හැදේන ඕනේ.

මම, අමරදේවයන්ගෙන් නොයෙක් නොයෙක් දෑ අසමි. ඔහු ඒවාට පිළිතුරු දෙන්නේ සොම්නස් සිත් ඇතුවය. සමහර දෑ මතකය. සමහරක් දෑට පිළිතුරු දෙන්නේ ඔහු විසින් ලියන ලද පොත පත පෙරලා බලා ය. හැකි හැම විටම සොදුරු අතීතය තුළ ගිලෙන්නට මේ මහා ගාන්ධර්වයාණේ නොපසුබටවෙති.

පෙරළා සියරට පැමිණි හේ ස්වකීය නිර්මාණ දිවිය ජව සම්පන්නව අරඹයි. චිත්‍රසේනයන්ගේ ‘කරදිය’ මුද්‍රා නාටකයේ සංගීත නිර්මාණය ඔහුගේ ප්‍රථම කාර්යයි. චිත්‍රසේනගේ ‘නලදමයන්ති’ අමරදේවයන්ගේ කුසලතා ප්‍රකට කළ තවත් මුද්‍රා නාටකයකි.

සිංහල වේදිකාවේ ගීත නාටක සඳහා ඔහුගේ දායකත්වය සුවිසදව සටහන් කරන නිර්මාණ අතර සරච්චන්ද්‍රයන්ගේ ‘පබාවතී’ ,’වෙස්සන්තර’ , ‘ලෝම හංස’ , ‘භව කඩතුරාව‘ ආදිය ප්‍රමුඛ වේ.

වන්නකුවත්තවඩුගේ දොන් අමරදේවයන් සංගීතය අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිංහල සිනමාපටය වන්නේ රන්මුතු දූවය. එය තිරගත වූයේ 1962 වසරෙදීය. එතැන් සිට ඇරඹි ඔහුගේ සිනමා සංගීතය ගම්පෙරළිය, ගැටවරයෝ, ළාදළු, දෙලොවක් අතර, රන්සළු, අක්කර පහ, තුංමං හන්දිය, සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා, සක්මන් මළුව, වැනි දෘශ්‍ය කාව්‍යයන් සඳහාත් දායකත්වය දී ඇත. ඔහු විසින් සංගීත අධ්‍යක්ෂණය කර ඇති සිනමා කාව්‍ය අතරින් ‘ගම්පෙරළිය’ දේශීය සිනමා ඉතිහාසයේ එකදු ගීයක් හෝ අන්තර්ගත නොවූ ප්‍රථම සිනමා කෘතිය වේ.

හේ සංගීත අධ්‍යක්ෂවරයකු වශයෙන් පමණක් නොව තමා සංගීතය නිර්මාණය කළ සිනමාපටවල මෙන්ම, වෙනත් සංගීත අධ්‍යක්ෂවරු සංගීතය නිර්මාණය කළ සිනමාපටවලද අමරදේවයෝ පසුබිම් ගී ගැයූහ. ඒ ස්වර්ණ ස්වරයෙන් හා අනුපමේය ගායන විලාශයෙන් සිනමාවට සැපයුණු ආලෝකය සුවිශාලය. ඔහු දක්ෂතම ගායන ශිල්පියා ලෙස ජනාධිපති, ස්වර්ණ සංඛ, සරසවි ආදී සම්මාන රැසකට උරුම කම් කියයි.

ඔහු - සාහිත්‍ය රසය විඳින්න බැරි නම් මනුෂ්‍යත්වයක් නෑ යනුවෙන් සංස්කෘත භාෂාවේ කියමනක් තියනවා. වර්තමාන කලාව දිහා බලපුවහම මට පේනවා හොඳ යථාරූපී සංගීතය ඇසුරු කරන්න උත්සහ ගන්නව නව පරපුර පවා.

මම - ඔබට තියෙන බලාපොරොත්තු...

බලාපොරොත්තු ..... සිහින.... අමරදේවයානෝ සිනහ සෙති. හේ මඳක් කල්පනා සාගරයේ කිමිදේ. නැවතත් ඉහළට මතුවේ. ඔහු, මට පිළිතුරු ලබාදේ.

ඔහු - දැන් පැමිණි පරිනතභාවය, ඒ සියලු දෙසින්ම ආශ්‍රය කරගෙන තවත් ඉදිරියට නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා.

මම - ඔබ වඩාත් තෘප්තියට පත්වන්නේ වාදනයේ නියැලීමෙන්ද නැත්නම් ගායනයේ නියැලීමෙන් ද?

ඔහු - මේ දෙකේම නිරතවන්නේ තෘප්තියෙන්. එසේම සිනමාව, නාට්‍ය යන සියලුම මාධ්‍යයන්ටත් කැමැතියි.

මේ මහා ගාන්ධර්වයාණෝ තම සංගීත දර්ශනය නිර්මාණය කළ ගායනා මගින් ප්‍රකට කළහ. ‘ජන ගායනා’ , ‘මධුවන්ති’, ‘විජය ගීත’, ‘ස්වර වර්ණ’ යන ගුවන් විදුලි වැඩසටහන් මඟින් සුභාවිත ගී කලාව සිංහල සංගීත සහෘදයා වෙත පිරිනැමීය.

ඔහු භාරතයේ ලක්නව් සංගීත පීඨයෙන් රාගධාරී සංගීතය හැදෑරීය. එතෙක් දුරකට වැඩුණු සිංහල ගීතයේ සැබෑ මුහුණුවර හඳුනාගන්නට අමරදේවයන් විසින් හෙළන ලද ආලෝක දහරාව සුළුකොට තැකිය නොහැකිය.

කාලීන සමාජ සන්දර්භයක් තුළ කුමාරතුංග මුනිදාසයන්ගේ දැක්මෙන්ද, සුනිල් ශාන්තයන්ගේ දැනුමෙන් ගොඩනැඟුණු සිංහල ගීත ආකෘතිය තව තවත් සංවර්ධනය කළ අමරදේවයාණෝ එය දේශජ උරුමයෙහි ප්‍රකාශනයක් ලෙසට පත්කළහ. එසේම සුනිල් ශාන්තයන් විසින් පසක් කර ගන්නා ලද ‘හෙළ ගී ආර’ ඔස්සේ ගමන් ගනිමින් සම්ප්‍රදාය ගුරුකොට නවීනත්වය තනා එය මල්ඵල ගැන්වූහ.

එබැවින් මෙරට අන් කවර සංගීතඥයකු හෝ නොලත් ගෞරව බහුමාන ඔහු වෙත හිමිව තිබේ. පේරාදෙණිය, කැලණිය හා රුහුණු යන විශ්වවිද්‍යාලවලින් සම්මාන ආචාර්ය උපාධියට හේ උරුමකම් කියයි.

ශ්‍රී ලාංකේය නිර්මාණාත්මක සංගීතයේ අභිවර්ධනය උදෙසා කළ මෙහෙවර අගයමින් භාරතයේ භාත්ඛණ්ඩේ විශ්වවිද්‍යාලයෙන් ‘පණ්ඩිත්’ යන ගෞරව නාමය අමරදේවයන් වෙත පිරිනැමිණ. භාරතයේ ජනපති විසින් ‘පද්මශ්‍රී යන සම්මානය ඔහු වෙත ප්‍රදානය කරන ලදි. 2001 වසරේදී ආසියාවේ නොබෙල් ත්‍යාගය ලෙස පිළිගැනෙන ‘මැග්සයිසේ’ ත්‍යාගය අමරදේවයන්ට හිමි විය. මේ මහා ගන්ධර්වයාණන්ගෙන් මා දැන් සමුගත යුතුය.

ඒ ඔහුව තවත් වෙහෙසට පත් කිරීමට මා හිත ඉඩ නොදෙනා බැවිනි. අමරදේවයන් පීඩාවට පත්ව ඇති සෙයකි. එහෙත් තවමත් ඔහුගේ දෙතොලතර නිහතමානී සිනහව රැඳී ඇත. මම තවත් එක් පැනයක් ඔහුට ඉදිරිපත් කරමි.

මම - දෙසැම්බර් මස 05 වෙනිදාට යෙදෙන්නේ ඔබගේ 85 වැනි ජන්ම දිනයයි. ඒ නිමිත්තෙන් ජාතික වශයෙන් ඔබ අගය කිරීමක් එදිනට යෙදෙනවා. මේ පිළිබඳ ඔබගේ අදහස

ඔහු - ‘ජූජාච පූජනීයානං’ යන්න මංගල කාරණාවක්. පිදිය යුත්තන් පිදීම හොඳ ආදර්ශයක්.



 

 ආචාර්ය පණ්ඩිත් අමරදේව

දෙසැම්බර් මස 05 වැනි දිනට යෙදුන අමරදේව ශූරීන් ගේ අසූපස් (85) වැනි ජන්ම දිනය වෙනුවෙන් ජාතික වශයෙන් එතුමන් අගය කිරීම වස් එදිනට සංගීත ප්‍රසංගයක් පැවැත්වේ. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හා කළ මෙම සාකච්ඡාව පළවන්නේ එම අසිරිමත් අවස්ථාව නිමිත්තෙනි.




උපුටා ගැන්ම - දිනමිණ පුවත් පත


අනුසාර මාහිංගොඩ
ඡායා-ටෙනිසන් එදිරිසිංහ






No comments:

Post a Comment