සප්ත ස්වර ඒදණ්ඩේ නොවැටී ගිය... නිහතමානී පණ්ඩිතයා


සප්ත ස්වර ඒදණ්ඩේ නොවැටී ගිය.... නිහතමානී පණ්ඩිතයා 





'ඒ වෙද්දී මගේ වයස අවුරුදු හයයි. එක දවසක් අයියලත් එක්ක මුහුදු වෙරළේ සෙල්ලම් කරලා ගෙදර එද්දි රේල් පාර පනිද්දිම මගේ කකුල සරමෙ පටලැවිලා මාව රේල්පාර හරහා වැටුණා. ඔළුව උස්සලා බලද්දි කෝච්චිය මෙන්ම මෙහෙම අතළඟ. ඒ වෙලාවෙ තිබ්බ බයට මට නැඟිටගන්නත් බෑ. ඊට පස්සෙ යන්තම් බඩගාගෙන වගේ රේල් පාරෙන් එළියට ඇදෙනකොට රේල්ලුව මගේ ඇඟේ ගෑවි නොගැවී මගෙ ළඟින්ම මාරු වුණා.'


මරණය පෙනි පෙනී, ජීවිතය ලබාගත් ඔහු රමණීය මිනිසෙක්. ගීතය - සංගීතය ගැන කතා කරද්දී ලාංකේය භුමියේ ඉහළින්ම වැජඹෙන සරල රජිඳෙක්. ළතෙත් හදවත් නිවා සනහාලන කෘතහස්ත කලාවේදියෙක්. සප්ත ස්වර ඒදණ්ඩෙ නොවැටී ගිය නිහතමානී පණ්ඩිතයෙක්. ඔව්! ඔහු, පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයි.


1927 දෙසැම්බර් 5 වැනිදා මොරටුවේ කොරළවැල්ලට අලුත් ඉරක් පායනවා. ඒ සූර්ය රශ්මියෙ උත්පාදකයා. වන්නකුවත්ත වඩුගේ ‍ෙදාන්් ජිනෝරිස් පෙරේරා හිරුට කුස දී කිරිදී ප්‍රාණය ලබාදෙන්නෙ, බාලාප්පු වඩුගේ මැගී මෙරායා මෙන්ඩිස්. මවු - පිය සෙවණෙ ජීවිතය ලබන හිරු, ඇල්බට් පෙරේරා උප්පැන්න සහතිකයෙ තියෙන විදියටම කියනවා නම් අමරදේවගේ සම්පූර්ණ නම, වන්නකුවත්ත වඩුගේ ‍ෙදාන් ඇල්බට් පෙරේරා.


අමරදේවගෙ පියා, ඒ කියන්නෙ ජිනෝරිස් පෙරේරා උන්නැහේ එකල මොරටු පුරවරයේම සුප්‍රසිද්ධ දක්‍ෂ වඩු බාස් කෙනෙක්. තාත්තා ගැනයි අම්මා ගැනයි පුංචි පුතා අමරදේවගෙ ස්මරණය මෙයා කරයි.


'මගෙ අම්මා මෙතෝදිස්ත ආගමේ. තාත්තා බුද්ධාගමේ. අම්මා පල්ලිත් යනවා. පන්සලුත් යනවා. ආගම ගැන ගෙදර අවුලක් තිබුණෙ නැහැ. ළමයි ඔක්කොම ඇදහුවෙ බුද්ධාගම. අම්මා මෙතෝදිස්ත පල්ලියෙ ගීතිකා කණ්ඩායමේ ගීත ගායනා කළා. තාත්තා වයලීන් වාදකයෙක් හින්දා වෙසක් දවසට කැරොල් කණ්ඩායම් පුහුණු කළා.'


සහෝදර සහෝදරියො හත්දෙනෙක් හිටිය ආදරණීය පවුලෙ 'බඩපිස්සා' තමයි අමරදේව. තමා ආසන්නයේ වැඩිමහල් සහෝදරයා වුණ 'ජස්ටින් පෙරේරා' ගෙ අකල් මරණයෙන් අමරදේවගෙ හිතේ ඇතිවුණ කම්පාව, හිඩැස අදටත් ශේෂව පවතිනවා.


අයියව අසාධ්‍ය වෙලා කොළඹ මහ ඉස්පිරිතාලෙට ගෙනාවා. එහෙදි අයියා මැරුණා. එදා කොළඹ ඉස්පිරිතාලෙ තිබුණ ඔරලෝසු කණුව, අදත් එතැන දකිනකොට මට පොඩි අයියා මතක් වෙනවා.


පුංචි සන්ධියෙ අමරදේවට ගුණ, නැණ, දැනුම ලබාදෙන්න පියා ඔහුව කොරළවැල්ලේ වාලුකාරාමයට රැගෙන යනවා. ගිහින් එහි නායක හාමුදුරුවන්ට පුංචි පුතාව භාර දෙනවා. එහිදී දැනුමෙ අත්පොත් මනාව පිරිමදින පුංචි පුතාව, අනතුරුව කොරළවැල්ලේ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ්‍ර පාසලට ඇතුළත් කරනවා. පොතපතට වගේම වයලීනයටත් හා හා පුරා කියලා ආදරේ කරන්න අමරදේව පෙලැඹෙන්නෙ මෙන්න මේ අවධියෙදි.


'ඒ දවස්වල ගුරු අභ්‍යාස විද්‍යාලවල
විෂය පාඨමාලාවේ අනිවාර්ය දෙයක් වයලීනය ඉගෙන ගැනීම. පුහුණු ගුරුවරු පාසලට එනකොට වයලීනයත් අරගෙනයි එන්නෙ. හැබැයි ඔවුන්ට එය ගහන්නත් බෑ. වයලීනය අල්ලන්නත් බෑ. වයලීනය ටියුන් කරගන්න ගේන්නෙ අපේ තාත්තා ළඟට. ඒ හින්දා අපේ ගෙදර වයලීන් දහයක් පහළොවක් නැති වෙලාවක් හොයාගන්න බෑ. තාත්තා කැඩිච්ච වයලින් හදලත් දෙනවා. ඉතින් වයලීනය තමයි මං උදේ හවස දකින්නෙ.

දවල් පාසල් ගිහිල්ලා ආවම වැඩේම වයලීන් ගහන එක. ඉස්සෙල්ලාම ගැහුවේ බෝ එක නැතුව හරියට මැන්ඩලීන් ගහනවා වගේ තනි ඇඟිල්ලෙන්.
අමරදේවගෙ පාසල් දිවිය එක පාසලකට පමණක් සීමා වුණේ නැහැ. අවුරුදු 13ක පාසල් දිවියෙදි මොහු පාසල් හතරක ඉගෙනුම ලබනවා. පාසලෙන් පාසලට මාරුවෙන්නත් හේතුව වුණේ මොහුගෙ සංගීත සුදක්‍ෂභාවයයි. 'පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලය, කළුතර විද්‍යාලය වගේම බළපිටිය සිද්ධාර්ථයත්' අමරදේවගෙ දැනුම් ඥානය පෘථුල කරන පාසල් බවට පත්වෙනවා.


පාසල් දිවියෙන් අනතුරුව එකල ප්‍රකට සංගීතඥ මොහොමඩ් ගවුස් මාස්ටර්ගෙ වාද්‍ය කණ්ඩායමට බැඳෙන මොහු 'කොලොම්බියා තැටි සමාගමේ ගීතවලට' වාදන සහාය සපයනවා. මේ අතරතුර කාලෙ සිදුවුණු අමතක නොවන සිදුවීමක අමරදේවගෙ මතකය මෙන්න මේ විදියට නවතිනවා.


'ඒ දවස්වල ගවුස් මාස්ටර්ගෙ සංගීත කාර්යයේ නිරත වෙන එක තමයි එකම සතුට. යන්න එන්න බස් ගාස්තුයි, කන්න බොන්න කීයක් හරි තිබුණමයි හොඳටම ඇති. තැටිගත කිරීම්වලට ගියාම සල්ලි ඉල්ලන්නෙත් නෑ. ඔහොම ඉඳලා ඉස් ඉස්සෙල්ලාම කොලොම්බියා සමාගමෙන් මගේ අතට ලැබුණා රුපියල් 80ක චෙක් එකක්. ඒක පොරෝලිස් ප්‍රනාන්දු සමාගමෙන් මාරු කරගෙන කොටුවේ
පළමු වැනි හරස් වීදියෙන් ට්‍රෑම් කාර් එකකට නැග්ගා ග්‍රීන් ස්ටී්‍රට් එකේ. ගවුස් මාස්ටර්ගෙ ගෙදරට ට්‍රෑම් එකෙන් බැහැලා බලනකොට පික්පොකැට්කාරයෙක් අතේ තිබුණු රුපියල් 80ට විදලා. මේ කතාව ගවුස් මාස්ටර්ට කිව්වම මට තවත් රුපියල් 50ක් දුන්නා.


අමරදේව කියන කෘතහස්ත කලාවේදියා, අග්‍රගණ්‍ය සංගීතඥයා තම දිවියෙ සංගීත ඥානයෙන් පළමු වතාවට ලබාගත්ත මුදල පෙනි පෙනී අහිමි වුණේ ඒ ආකාරයටයි.
ශ්‍රී ලංකාවේ පළමු සිංහල චිත්‍රපටය වන 'අශෝකමාලා' චිත්‍රපටයෙ සංගීත අධ්‍යක්‍ෂණය කරන්නෙ ගවුස් මාස්ටර්. සහාය සංගීත
අධ්‍යක්‍ෂණය හා වයලීන් වාදනය කරන්නෙ අමරදේව. ඒ අවධියෙ නමින් ඇල්බට් පෙරේරා. ඊට අමතරව 'ඇයි කළේ යමෙකු ආලේ, භවේ ගීත හැරදා' කියන ගීත ගයන්නෙත් මොහුමයි. ඒ වගේම චිත්‍රපටය ඇතුළාන්තයෙ හිඟන්නකුගෙ චරිතය නිරූපණයටත් මේ සිරා ඕභතතඥබ එක කැපවෙනවා.

ඔන්න ඒ ගැන අමරදේවගෙ මතකය!
අශෝකමාලා චිත්‍රපටගත කළේ ඉන්දියාවේ කොයිම්බතූර්හි සෙන්ට්‍රල් චිත්‍රාගාරයේ. හුඟ දෙනෙක් දන්නෙ මම ඒ චිත්‍රපටයේ හිඟන්නාගෙ චරිතයට රඟපෑවා කියලා. ඒත් මම රඟපෑවේ හිඟන්නාගේ චරිතය විතරක් නෙවෙයි. මෙහි එක් නැටුම් ගීතයක් එනවා. 'ප්‍රීති ප්‍රීති චන්ද්‍රා ලෝකේ' කියලා. ඔය නැටුම් ගීතයේදි නැටුම් නිළියො එක්ක මමත් නැටුවා. ශාන්ති කුමාර් තමයි මට චිත්‍රපටයට නටන්න හදිසියේ පුහුණු කළේ.


ඉන්දියාවට ගිහින් ආයෙ ලංකාවට ආවට පස්සෙ මොහු කොල්ලුපිටියේ පිහිටලා තිබුණ චිත්‍රසේනගෙ කලා ආයතනය සොයා යනවා. ඒ අමරණීය කලා නිකේතනයේදී ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත, ශේෂා පලිහක්කාර, ප්‍රේම කුමාර, වසන්ත කුමාර, පණීභාරත වැනි අසමසම මිනිසුන් මොහුට හමුවෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ පෙරදිග කලා සංගමයේ 'මේලා' කියන සංගීත ප්‍රසංගයට එකතුවෙන අමරදේව එහි සංගීත අධ්‍යක්‍ෂණය සිදු කරනවා. ඒ වගේම චිත්‍රසේනගේ මුල් මුද්‍රා නාට්‍යවලියේ චණ්ඩාලිකා, විජයාවතරණය, රාවණා, ර්ථීචඨඥචදබ ධට ඹ්චදඬච කියන මුද්‍රා නාට්‍යවලත් ප්‍රමුඛයෙක් හැටියට දායකත්වය සපයනවා.


ටික කාලයක් ගතවෙනකොට ගුවන් විදුලි ශිල්පීන් වර්ග කරන්නට ඉන්දියාවෙ ඉඳලා ලංකාවට එන භාත්ඛණ්ඩ විද්‍යාලයාධිපති රතන්ජන්කර් මහතා පවත්වන සංගීත
පරීක්‍ෂණයටත් මොහු ඉදිරිපත් වෙනවා. එහිදී ගායන හා වාදනයෙන් විශිෂ්ට ශේ‍ර්ණියේ ශිල්පියකු හැටියට මොහු වර්ග කෙරෙනවා. ඒ ජයග්‍රහණය එක්ක වැඩිදුර ඉගෙනීමට ඉන්දියාවට යෑමට ශිෂ්‍යත්වයක් හිමිවිය යුතු යැයි, එය ලබාදිය යුතු යැයි කියලා පුවත්පත් ආයතනයකින් උද්ඝෝෂණයක් අරඹනවා. ඒ ඩී.වී. ධනපාල කියන විශිෂ්ට පුවත්පත් කලාවේදියා. ඒ උද්ඝෝෂණයෙ ප්‍රතිඵලයක් හැටියට ඒ පුවත්පත හරහාම මොහු වෙනුවෙන් අරමුදලක් ආරම්භ කරනවා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මේ අතරතුරේ පැහැදිලි ප්‍රශ්නයක් යොමු කරනවා.


'මහත් අනාගත බලාපොරොත්තු ඇතිව ලංකාවෙ සිටින ඉහළම කෞශල්‍යයක් තියෙන කලාකරුවා වන ඇල්බට් පෙරේරාවද අපි ඉන්දියාවට යවන්න හදන්නෙ. මෙයා නියෝජනය කරන්නෙ ශ්‍රී ලංකාව, මෙයා එන්නෙත් ශ්‍රී ලංකාවට එහෙමනම් ඇල්බට් පෙරේරා කියන නම මෙයාට බාධාවක් වෙයිද කියා අපි සිතිය යුතුය.'
ඒ අනුව එදිරිවීර සරච්චන්ද්‍රයන්ම මොහුට නමක් යෝජනා කරනවා 'අමරදේව' කියලා. අදටත් අපි ඔබව හඳුනන්නෙ ඇල්බට් කියන නමින් නෙවෙයි, 'අමරදේව' කියන නමින්.


ඉන්දියාවෙ භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයෙදි දක්‍ෂ වයලීන් වාදකයෙක් වුණ 'විෂ්ණු ගෝවින්ද ජෝන්' අමරදේවගෙ ගුරු දේවයන් බවට පත්වෙනවා. භාත්කණ්ඩේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්න අවධියෙ අමරදේවගෙ හදවතේ මින්දද හීසර වැදී සැලෙන්නෙ 'මාලතී චැටර්ජී' ළඟයි. ඒත් ඒ ප්‍රේමය 'මනෝ ලෝකයට සීමා වූ ප්‍රේමයක් කියලයි පෙර දිනයක ඇයට පෙම් කළ අමරදේව කියන්නෙ.....
ආයෙ ඉන්දියාවෙ ඉඳන් මොහු ලංකාවට පැමිණෙන්නෙ 1959දීය. ඒ කාලයේදීම 'ගුවන් විදුලි වාදක මණ්ඩලයේ නායකයා' හැටියට අමරදේව පත්වීම් ලබනවා. කාලෙකදි ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වන මොහු නිදහස් සංගීතඥයකු බවට පත්වෙනවා. චිත්‍රසේනගෙ 'කරදිය, නල දමයන්ති' වැනි මුද්‍රා නාට්‍යවල සංගීත නිමැවුම්කරු හැටියටත් ඔහු පත් වෙනවා.


තම හ¾ඩින් - හැකියාවෙන් හදවත් කෝටි ගණනක් සැනසුව අමරදේව ආදරය අයදින්නෙ, විමලා ගුණරත්නගෙන්. ජීවිතයේ තනි මංසල අතරමං නොකර - අමරදේවට හුදෙකලාවෙ සුසුම් හෙළන්න ඉඩ නොදුන් ඇය සැබෑම බිරියක්. ආදරය ඇතුළෙ ආරාධනා පිළිඅරන් මේ යුවළගෙ තුරුළට වඩින දරුවන් වෙන්නෙ රංජන, සුභානි හා ප්‍රියංවදා අමරදේවයි.


පසුකාලීනව රජයේ ලලිත කලායතනයේ ස්ථිර තනතුරක් ලබා ගන්න අමරදේව කාලෙකදි එයිනුත් ඉවත් වෙලා නිදහස් සංගීතඥයෙක් බවට පත්වෙනවා. පිළිගැනීම් නහුතයක්, සම්මාන අහුරක් හිමි වුණත් නිහතමානීත්වය දශමයක්වත් අඩු නොවුණු අමරදේව අමර දේවයෙක් හැටියටම ගුණාංග ඉස්මතු කරනවා.


රන්මුතුදූව, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගැටවරයෝ, රෑන ගිරව්, තුන්මං හන්දිය' කියන චිත්‍රපට සමුදායක් ස්වකීය නාද රටාවෙන් ඒකාත්මික කළ මොහු එහි ගීතමය නාද මනාව කැටි කරනවා. වදන් - සංගීතය - භාව ප්‍රකාශනය' කියන අංග එක් කරලා ගායනය දියත් කරන 'පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව' පිළිබඳ නැවත නැවතත් අප සිහිපත් කළ යුතුය. සැබෑ කලාකරුවන් හිඟ යුගයක - අඳුරු වලා සමාජයක - රිදී ඉරක් වුණ සංගීතවේදියාණෙනි අපේ ජීවිත සාරයත් රැගෙන තව බොහෝ කාලයක් 'ඔබ' ජීවත් විය යුතුයි!!!

කසුන් මහේන්ද්‍ර හීනටිගල

උපුටා ගැන්ම - මව්බිම පුවත් පත ( http://www.mawbima.lk/82-21968-news-detail.html)

No comments:

Post a Comment