රාජිනිය හමුවූ රාත්‍රියක සෞන්දර්ය


රාජිනිය හමුවූ රාත්‍රියක සෞන්දර්ය 



මීට වසර විස්සකට පමණ කලින් දිනෙක තිලක් සුදර්මන් ද සිල්වා හෙවත් ගුවන්විදුලියේ “ලොකු මාස්ටර්”ගේ නිවසට විශේෂයෙන් තෝරා බේරාගත් සීමිත පිරිසකට ඇරැයුම් ලැබ තිබිණි. නිමිත්ත වූයේ ලොකු මාස්ටර්ගේ ගුවන්විදුලි ජීවිතයට වසර විසි පහක් සම්පූර්ණ වීමයි.

අසෝක තිලකරත්න, මහින්ද අල්ගම, කරුණාතිලක හඳවල සහ මම මෙම සාදයට ඇරැයුම් ලද තනිකඩයෝ වීමු. පවුල් වී නැවැත තනිකඩ වී සිටි ප්‍රේමකීර්ති ද අල්විස් සහ බණ්ඩාර විජයතුංගද ඇරැයුම් ලදහ. පවුලක් වශයෙන් ආරාධනා ලැබ තිබුණේ අමරදේවයන්ටය. ඔවුන් සමඟ දියණිය සුභානිද පැමිණි වග තනිකඩ මගේ සිත්හි තදින් කාවැදිණි.

ලොකු මාස්ටර්ගේ නිවෙසේ සාලයට ඔබ්බෙන් තිබූ එළිමහන් ඉඩකඩ අපේ මිත්‍ර සමාගම් මණ්ඩපය විය. කාන්තාවෝ සාලයේ කෙළවර අල්ලාප සල්ලාප දෙඩූහ. මිත්‍ර සමාගම් මණ්ඩපය පුටු රැසක් තැබීමට තරම් විශාල නොවූයෙන් අප උන්නේ බිම හිඳගෙනය. ආසනාරූඪව සිටියේ ලොකු මාස්ටර් හා අමරදේවයන් පමණි. විවිධාකාර විෂයන් ඔස්සේ උණුසුමින් උණුසුමට ගිය අපේ කතාබහට “අමරේ කියමුකෝ යමක්...”
දෙපා පුටුව උඩට ගෙන එරමිණියා ගොතාගත් අමරදේවයෝ යමක් කීමට කටහඬ අවදි කළහ.

“ජගන් මෝහිනී... මධුර භාෂිණී...”
මම මෙම ගීය අනේක වාරයක් අසා ඇත්තෙමි. සංගීත භාණ්ඩ පිරිවරා සංගීත සංයෝජනයෙන් පෝෂිතව ගයනු අසා ඇත්තෙමි. එහෙත් දැන් අමරදේවයන් ගයනුයේ කිසිදු වාදන භාණ්ඩයක් නොමැතිවය. ඔහු සතු එකම මෙවලම ඔහුගේ කටහඬ සහ අවට රජයන නිහඬතාව පමණි. මේ මා මාගේ ජීවිත කාලය පුරා ඇසූ මධුරතම ගායනයයි. ගීය අවසන් වූ විගස  බණ්ඩාරේ කඳුළු සලමින් අමරදේවයන්ගේ දෙපා සිප වැලඳගත් අයුරු මට තාමත් මතකය.

අමරදේවයන්ගේ මධුර ගායන ඔබ රසවිඳ ඇත. ඒත් මා මේ ලියන්නේ ඔහුගේ මධුරතම ගායනය පිළිබඳවයි. අමරදේවයන්ගේ මධුරතම ගායනා ලාලිත්‍යයෙන් මෝහනයට පත්වීමේ අවස්ථාවන් ලද්දෝ එහි රස හොඳින් දනිති. එවන් අවස්ථා උදාවනුයේ කලාතුරකිනි. ඒ සඳහා බොහෝ කාරණා කාරණා සම්පූර්ණ විය යුතුය.

ලොකු මාස්ටර්ගේ සාදයෙන් වසර දාහතරකට පමණ පසු 1990 නොවැම්බර් මස පළමු වැනි සින්ග්ලංකා සමාගමයේ දශක පූර්ණය වෙනුවෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී සංගීත ප්‍රසංගයක් සංවිධානය කෙරිණි. ප්‍රසංගය අවසන්ව සියලු දෙනා නික්ම යෑමෙන් අනතුරුව රඟහල ඉදිරිපිට ප්‍රවේශ පත්‍ර විකුණන කුටිය අසල මිත්‍ර සමාගම් පැවැත්වීමේ අහඹු අවස්ථාවක් උදාවිය. කුලරත්න ආරියවංශ, රෝහණ වීරසිංහ, සුනිල් එදිරිසිංහ, සිසිර සේනාරත්න, අමරදේව ඇතුළු තවත් කීපදෙනෙක් එතැන වූහ. උග්‍ර වීදුරු හිඟයක් තිබුණු බැවින් බොහොමයක් අත්වල වූයේ කුලේ කොහෙන්දෝ සොයාගෙන ආ තේ කෝප්පය.
පසුදා පොහෝ දිනයක් බැවින් පිරෙන්නට ඔන්න මෙන්න වූ සඳ විහාර මහා දේවි උද්‍යානයට ඉහළින් සිසිල සලයි. සඳ වතුරේ එතෙන සීත සමීරය ගතට මෙන්ම සිතටද පවන් සලයි. බොහෝ කාරණා කාරණා සම්පූර්ණ වෙමින් පවතියි.

1955දී පමණ අමරදේවයන් භාත්ඛණ්ඩයේ සංගීත ශිල්ප හදාරමින් සිටින අවධියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් මෙහෙයවුණු සංගීත සමුළුවක් විය. මෙය පැවැත්වුණේ දිල්ලිනුවරය. එකල ගායන හා වාදනයට මූලිකත්වය දී තිබූ පෙරදිග රාගධාරී සංගීතය පාදක කොට සමූහ ගායනා හා වාදන ඉදිරිපත් කිරීම පිළිබඳ පර්යේෂණාත්මක සමුළුවකි ඒ. මෙම සමුළුව උදෙසා භාත්ඛණ්ඩයෙන් ඉදිරිපත් කෙරුණු සමූහ ගීත රචනා කොට සංගීත නිර්මාණය කළේ වාග්ගේයකාර, පණ්ඩිත ශ්‍රී  ක්‍රිෂ්ණ නාරායන් රත්නජංකර් ගුරුදේවයන් විසිනි. භාත්ඛණ්ඩ ගායන වෘන්දයේ ප්‍රධාන ගායකයා වූයේ අමරදේවය. අමරදේව එවක අවුරුදු විසි අටක නාඹර ගැටවරයෙකි.

එදා ගැයූ ගීය ඉන් වසර තිස් පහකට පසු ජෝන් ද සිල්වා රඟහල අබියස සිට අමරදේවයෝ අප වෙනුවෙන් ගයති. අසිරිමත් රාත්‍රියකි.
“රයන රානි.... නයන රානි.... වයන රානි...”
හින්දි බසින් එක් පාදයක් ගයන අමරදේවයෝ ගායනය නවතා එහි අරුත සුමට, සුබෝධ සිංහලයෙන් හා ඉංග්‍රීසියෙන් පහදා දෙති.
“රාත්‍රිය සේ විරාජමාන වූ රාජිනි... අඳුනක් සේ නෙතට සුවදෙන රාජිනි... සිත් සනහාලන රාජිනි...”
අමරදේවයන් වදන් පතියෙකි!

“පුලි සුගන්ධිත රාත රානි... සුවඳවත් රූ රැජින මලී...”
ඒ අසිරිමත් රාත්‍රියෙන් අප සමුගත්තේ පොහෝ දිනය උදාවීමෙන් පසුවයි! මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිසිර, ඇල්විටිගල තට්ටු නිවාසවලින්ද, මා ඇන්ඩර්සන් තට්ටු නිවාසවලින්ද ඇරලා සමුගනිද්දීද අප කතා කළේ ඒ මිහිරි රාත්‍රියේ සුන්දරත්වය පිළිබඳවයි.
ඊට පසු ද එවැනිම අපූර්ව රාත්‍රියක් උදාවිය. ඊට පසුබිම සැකසූයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකාය. ඔහුගේ “කාලෝචිත ගී” කැසට්පටය නිකුත් වී පස් වසරක් සම්පූර්ණ වීම නිමිතිකොට පැවැත්වෙන සුහද හමුවකට අපට ඇරැයුම් ලැබුණද, තවත් හේතු කාරණාවක්ද ඊටම අෑඳී තිබෙන බව පර්ලි අක්කා කීවාය.
රාත්‍රිය යොවුන් වියට පියමං කරද්දී පැදුරු සාදය ඇරැඹිණි. “කාලෝචිත ගී කැසට් පටය නිකුත් කරලා අවුරුදු පහක් ගතවුණා. ඒත් එක බල්ලෙක් ඒක ගණන් ගත්තේ නෑ...” කාලෝ සහෘදයන් රස ගන්වමින් කීය.

“අන්න ඒක නිසා මහාචාර්යතුමා තීරණය කළා අපි වගේ බල්ලෝ ටිකකට ආරාධනා කරලා සාදයක් පවත්වන්න” මම උෟනපූර්ණය කළෙමි!
පැදුරු සාදයේ ගී රාවය සහෘද සිත් පිනවාලයි. මහාචාර්යවරයාගේ නිවෙසේ සඳලුතලයට ගිය විට පෙනෙන්නේ දියවන්නාවයි. පසුදා පොහෝ දිනයකි. පිරෙන්නට ඔන්න මෙන්න වූ සඳ දියවන්නාවට ඉහළින් සිසිල සලයි. සඳ වතුරේ එතෙන සීත සමීරය ගතට මෙන්ම සිතටද පවන් සලයි. “රයන රානි - නයන රානි - වයන රානි...” ජෝන් ද සිල්වා රඟහල අසල අසිරිමත් රාත්‍රිය පිළිබඳ රස මතක සිත් තුළ මෝදු වෙමින් එයි.
සඳලුතලයේ අඳුරු කෙළවරක අමරදේවයන් සිටිනු පෙනේ. මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟින් එතැනට යමි. සින්ග්ලංකා දශකයදා ගෙවුණු අපූර්ව රාත්‍රිය පිළිබඳව අමරදේවයන්ට කොඳුරමි.

අෑතින් නැඟෙන පැදුරු සාදයේ ගී හඬ මටත්, සුනිල්ටත් නෑසේ. අප සිව්කන් මී ලන්නේ අමරදේවයන් අප දෙදෙනා වෙනුවෙන් ගයන ගීයේ මාධුර්යයයි!
“පුලි සුගන්ධිත රාත රානී මන්ද සීත සමීර
ලහ ලහ රාත - රසකී භාත
කරතලු හාත - මනකෝ භාත...

රයන රානි... නයන රානි... වයන රානි...”


සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශනයක් වූ සමන්ත හේරත් හා ප්‍රණීත් අබේසුන්දර සංස්කරණය කළ ‘අමරදේව ජාතියේ ස්වර්ණ ස්වරය’ ජන්ම දින සමරු ග්‍රන්ථයෙනි.


උපුටා ගැනිම - මව්බිම පුවත්පතට සමන් අතාවුදහෙට්ටි මහතා රචිත ලිපියකි

No comments:

Post a Comment