මං පුංචි කාලෙ වැල්ලට ගිහින් දැල් ඇද්දා



 
 
පීනමුකෝ කළු ගෙඟ්
කිරි බැබළෙන හඳ පානේ....
දෙගොඩ තලා යන වතුරේ
තරඟ නැගේ පෙණ විසිරේ....
කිරිබැබළෙන හඳපානේ....


සුපුරුදු රිද්මයට අත හසුරුවමින් මා ඉදිරියේ මේ ගයන්නේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ය. කාලය විසින් අමරදේවයන් වියපත්කොට ඇත. එහෙත් තවමත් ඒ හඬ කිසිසේත් වියපත්ව නැත. ජාතියේ මහා ගාන්ධර්වයාණන් සමඟ ගෙවුණු ඒ හෘදයාංගම දෙපැයේ මා වටහා ගත් දෙයයි.
”මම කළුතර විද්‍යාලයට යනකොට කළු ගඟත්, කළුතර බෝධියත්, හරිම අපූරු සිතුවමක් මගේ හිතේ ඇන්දා. ඒක කවදාවත් මැකෙන්නෙ නැති තරමට මා තුළ තිබුණා. වෙසක් පොහොයත් ඊට සම්මිශ‍්‍ර කරගෙන හිතේ ඇඳුණු අදහස පස්සෙ ගීතයක් කළා.”
අද මා අසල සිටින්නේ ජාතියකට, ආගමකට, පක්ෂයකට, පාටකට ගැති නුවූ විශ්ව කීර්තිධර කලාකරුවෙකි. ඒ හමුව මා භාග්‍යයක්කොට සලකන්නේ එබැවිනි. ගීතයෙන් රටක් නොව ලොවක් නැළවූ ඒ ගීත ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඞී. අමරදේව ශූරීන් අද ඔබ හමුවට කැඳවමු.
ප‍්‍රශ්නය - ආයුබෝවන් අමරදේව මහත්මා.... ඔබ මොරටුවේ ප‍්‍රසිද්ධ වඩු පවුලක ඉපදුණු කෙනෙක් බව නම් අප අහලා තියෙනවා. කියමුද ළමා කාලයේ විස්තර ටිකක්...?
පිළිතුර -
මා උපන්නෙ 1927 දෙසැම්බර් 05 වැනිදා. මොරටුව කොරළවැල්ලෙදි. මගේ අම්මා වෙස්ලියානා මෙන්දිස්. ඇය මෙතෝදිස්ත ආගමේ කෙනෙක්. තාත්තා ජිනෝරිස් පෙරේරා. එයා බෞද්ධ අපේ තාත්තා ඒ ප‍්‍රදේශයේ හිටපු හොඳම වඩුබාස්. තාත්තා ඇඳ, පුටු, අල්මාරි, මේස හදන්න විතරක් නෙමෙයි, සියුම් වැඩවලටත් දක්ෂ කෙනෙක්. ඉතින් අහළ පහළ සංගීත කරන උදවිය වයලින් අලූත්වැඩියා කරගන්න තාත්තා ළඟට ආවා. මාත් ඒ වයලීන් හරිම ආසාවෙන් අත ගාමින්, තත් පිරිමදිමින් ලොකු සතුටක් ලැබුවා. තාත්තටත් වයලින් වාදනය කරන්න පුළුවන්. මම වයලීනයට ආසා බව දැනගත්තම තාත්තා මට වයලීනයක් අතින් හදලා දුන්නා අවුරුදු හතේ උපන්දිනේට. අපි ඉතින් පුංචි කාලෙ වැල්ලට ගිහින් දැල් ඇද්ද?  ඕවගෙ වැඩත් කළා. ගෙවල් තිබුණෙ වැල්ල කිට්ටුවනෙ.
 

ප‍්‍රශ්නය - වඩුගෙදරක් වුණත් අමරදේව ශූරීන් බිහිවෙන්න මාර්ගය එළිපෙහෙළි වුණේ ගෙදරින්...?
පිළිතුර -
ඔව් මගේ ලොකු අයියා ඩබ්ලිව්.ඞී. චාල්ස්. එයත් මරදානට ගිහින් ඇම්.ජී. පෙරේරා සංගීත ශාස්ත‍්‍රඥයාගෙන් සංගීතය ඉගෙන ගත්තා. මට ඒ දැනුම බෙදා දුන්නා. තාත්තට වයලින් වාදනය පුළුවන්. අම්මා මෙතෝදිස්ත නිසා ලස්සනට ගීතිකා ගායනා කළ හැකියි. ඒ හුරුව මට පුංචි කාලෙම ලැබුණා.
 

ප‍්‍රශ්නය - එතකොට පාසල් ගියේ කොහේද?
පිළිතුර -
මම පාසල් ගණනාවකින් ඉගෙන ගත්තා. මුලින්ම කොරලවැල්ලෙ ශ්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ‍්‍ර පාසලෙන්. එතනදී මට ඩැනිස්ටර් තෝමස් ප‍්‍රනාන්දු (ඞී.ටී. ප‍්‍රනාන්දු)  මහත්තයා හමුවුණා. එයා තමයි ”අශෝකමාලා” චිත‍්‍රපටයට ගීත රචනා කළේ. මට ඩබ්ලිව්.ජී. ප‍්‍රනාන්දු සංගීත ගුරුතුමා හම්බවුණෙත් කොරළවැල්ල පාසලේදී. ඒ වෙනකොටත් මට හොඳට මැන්ඩලීනය වාදනය කරන්න පුළුවන්. එතුමා මගේ හැකියාව හඳුනා ගත්තා. ඒ කාලෙ මා ගීත, පද්‍ය ගායනා තරග හැම එකකින්ම පළවෙනියා. ඉතින් පාසල් ගණනාවකින් ශිෂ්‍යත්වය දීලා මා ගන්න උත්සාහ කළා.
නමුත් මම ඉගෙන ගත්තෙ පානදුර ශ්‍රී සුමංගල, කළුතර විද්‍යාලය සහ බලපිටියේ සිද්ධාර්ථ විද්‍යාලවලින්. ඩබ්ලිව්.ජී. ප‍්‍රනාන්දු සංගීත ගුරුතුමා මාරුවී ගිය සෑම පාසලකටම මාව එක්කගෙන ගියා. එතුමාගේ ප‍්‍රධාන ගෝලයෙක් හැටියට මාව සැලකුවා. අපි චිත‍්‍රපටි බලන්න ගියේ ජපන් මැන්ඩලින් කරේ එල්ලගෙන. හින්දි චිත‍්‍රපටි බලද්දි මම ඒවායේ ගීතවලට මැන්ඩලීනය වැයුවා.
 

ප‍්‍රශ්නය - පාසල් යන කාලෙදි පේ‍්‍රමකුමාර එපිටවල මහත්මාගේ සැලළිහිණි සංදේශය ගීත නාට්‍යයේ පසුබිම් ගායනාව කළේ ඔබයි. එතැන ජීවිතේ තීරණාත්මක දවසක් නේද?
පිළිතුර -
එතකොට ඔබ ඉපදිලත් නෑ. මේ 1950 දී. එදා මේ නාට්‍යය බලන්න මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, ලංකාදීප පත්තරේ හිටපු කර්තෘ ඞී.බී. ධනපාල මහත්මාත් ඇවිත් හිටියා. මට තිබුණා සැලළිහිණි සංදේශයේ කවි ගායනා කරන්න. පසුබිම මුලූමනින්ම සමනල කන්ද, දර්ශනයෙන් හැඩකරලා තිබුණා. චිත‍්‍ර ඇඳලා තිබුණෙ සෝමබන්දු විද්‍යාපති. මම සැලළිහිණියේ කවියක් ගායනා කරන්න ගත්තා. එදා එම කවිය ගායනා කරයි.
”සුරරද සමන් සමගින් සුරඟන එවර
පැහැනද මදාරා පරසතු මල් පතර
කරපුද වඳින බැති මුනි සිරිපා තඹර
සකි සඳ පෙනේ සමනල ගල නැගෙනහිර”

මේ කවිය ගායනා කරද්දි  ඕඩියන්ස් එකේ හිටපු සේරම නැගිටලා සාදුකාර දුන්නා.
මේ ළමයා මෙච්චර ලස්සනට කවි ගායනා කරනවා නම් තවත් සංගීත ඉගෙනගෙන, ආවොත් මොන තරම් ගමනක් යාවිද කියලා මාව ඉන්දියාවට යවන්න මහාචාර්ය සරත්චන්ද්‍ර ඞී.බී. ධනපාල, ඩබ්ලිව්.ජේ. ප‍්‍රනාන්දු මහත්වරු කටයුතු සූදානම් කළා. මට ඒ ගමන යන්න මුදල් නෑ. පස්සෙ ලංකාදීප පත‍්‍රයේ කර්තෘ ඞී.බී. ධනපාල මහත්තයා මා වෙනුවෙන් ශිෂ්‍යත්ව අරමුදලක් ආරම්භ කළා. මෙතනදි තමයි මගේ නමත් වෙනස් කරන්න වුණේ.
ප‍්‍රශ්නය - ඒ කියන්නෙ අමරදේව මහත්මාට උපතින් ලැබුණෙ වෙනත් නමක්?
පිළිතුර -
ඔව් මගේ නම ඩබ්ලිව්.ඞී. ඇල්බට් පෙරේරා. මා ඉන්දියාවට යන්න තමයි නම වෙනස් කළේ.
 

ප‍්‍රශ්නය - එතකොට කවුද අමරදේව නම දුන්නෙ...?
පිළිතුර -
මහාචාර්ය සරත්චන්ද්‍ර තමයි කිව්වේ. අමරදේව කියලා දාමු කියලා. ඇල්බට් කියන්නෙ පෘතුගීසි නමක්නෙ. ඉතින් වාසගම තියාගෙන නම වෙනස් කළා. අදටත් ඩබ්ලිව්.ඞී. අමරදේව තමයි.
 

ප‍්‍රශ්නය -  පද්ම ශ්‍රී යන භාරත දේශයෙන් සංගීත ශිල්පියකුට දෙන ඉහළම සම්මානය ඔබ ලැබුවා. ඔබේ ඉන්දීය සංගීත හැදෑරීමත් ඊට හේතු වෙන්න ඇති?
පිළිතුර -
මම ලක්නවුවල භාත්ඛණ්ඬේ සංගීත් විද්‍යා පීඨයට ඇතුළු වෙලා පණ්ඩිත් ශ්‍රී විෂ්ණු ගෝවින්ද් ජෝග් සංගීත ගුරුතුමාගෙන් ශිල්ප ශාස්ත‍්‍රය ලබාගත්තා. ඒ වගේම උස්මාන් ඛාන්, කදම්බජී මුක්ෂුඞ් අලි ඛාන් වගේ අයගෙන් ශිල්පය ඉගෙන ගෙන සමස්ත ඉන්දීය වයලීන වාද්‍ය ශිල්පී තරගයෙන් පළවැනියා වුණා. ඒ වගේම සංගීත හා වාද්‍ය විශාරද උපාධියත් 1956 ලබාගෙනයි ලංකාවට ආවේ. මම මැක්සේසේ සම්මානය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ලැබූ ආරංචියට තමයි ඉන්දියාවේ සංගීතය උගත් නිසා පද්ම ශ්‍රී සම්මානය ප‍්‍රදානය කළේ.
 

ප‍්‍රශ්නය - ඔබ ගුවන් විදුලි සංස්ථාවට ගියේ ඊට පස්සෙ?
පිළිතුර -
ඒකත් ලස්සන කතාවක්. ගුවන් විදුලි සංස්ථාවට මා සම්බන්ධ වුණා. ඒ කාලෙ ගුවන්විදුලි සංස්ථාවෙ සභාපතිවෙලා හිටියෙ ඇම්.ජේ. පෙරේරා. ගුවන් විදුලි සංස්ථාවෙ ශිල්පීන් වර්ග කරන්න එතුමා ගෙන්නුවේ ලක්නවු භාත්ඛණ්ඩ. සංගීත් විද්‍යා පීඨයෙ විදුහල්පති පණ්ඩිත් ශ්‍රී කි‍්‍රෂ්ණ නාරායන් රතනශංකර් පඬිතුමා. එතුමා මගේ ගායනය අහලා ගුවන් විදුලියේ විශිෂ්ඨයා, විදිහට තේරුවා. ප‍්‍රථම ශ්‍රේණියේ ගායන හා වාදන ශිල්පියා කළා. විශිෂ්ටම ශිල්පිනිය වුණේ කෝකිල දේවි. ඊට පස්සෙ මා ගුවන්විදුලියෙ වාදන අංශයේ නායකයා කළා. මේ 1959 අවුරුද්දෙදි.1964 - 74 කාලෙ මා ශ්‍රී ලංකා කලායතන විදුහල්පති හැටියටත් කටයුතු කළා.
 

ප‍්‍රශ්නය -  කාලයක් කොරළවැල්ලේ තාපසයා කියලා ඔබ රසිකයන් හැඳින්වූ බව අප අහල තියෙනවා. මොකද මේ තාපසයා කියලා නමක් වැටුණෙ?
පිළිතුර -
1947 අශෝකමාලා චිත‍්‍රපටයට මා ගීත ගායනා කළා විතරක් නෙමෙයි රංගනයෙනුත් දායක වුණා. මම රඟපෑව එකම චිත‍්‍රපටය තමයි ඒ. අශෝකමාලා චිත‍්‍රපටයෙ තාපසයෙක්ගෙ චරිතයට පණ දුන්න නිසා සමහර අය මට ”කොරළවැල්ලෙ තාපසයා” කිව්වා. ගම ඉතින් කොරළවැල්ලනෙ. මෙතනදි මා කියන්නම  ඕනෑ ගවුස් මාස්ටර් ගැන. එතුමා තමයි මට අශෝකමාලා චිත‍්‍රපටයට සම්බන්ධ වෙන්න අවස්ථාව උදා කළේ. ”භවය භීත හැර දේශිත තිලොනා” සහ ”ඇයි කරේ යමෙක් ආලේ” ගීත දෙක මා එම චිත‍්‍රපටයට ගායනා කළා. එතුමා අශෝකමාලා චිත‍්‍රපටයේ සහාය සංගීත අධ්‍යක්ෂක හැටියට මගේ නමත් දාලා තිබුණා. මම ඒ බව දන්නෙත් පස්සෙ.
 

ප‍්‍රශ්නය -  පොඩිකාලෙ බයිලා, කපිරිඤ්ඤාවලට හිත වැටිලා හිටියලූ නේද? ඇයි මොරටුව ගම් පළාත නිසාද?
පිළිතුර  -
ඇත්ත, මම පුංචි කාලෙ බයිලා කපිරිඤ්ඤාවලට කැමතියි. ඉඩක් ලැබුණොත් ඒවම තමයි කියන්නෙ. මගේ බයිලා ගායනය වැඩි නිසා ඒක නවත්තන්න හොඳ දඬුවමක් ලැබුණා. මොකක්ද දන්නවද, කොණ්ඩෙ බූ ගෑවුවා.
 

ප‍්‍රශ්නය - රන්මුතු දුවට ඔබ දීපු දායකත්වය කුමක්ද?
පිළිතුර -
ලංකාවේ තිරගතවුණු ප‍්‍රථම වෛවර්ණ චිත‍්‍රපටය රන්මුතු දුව. එහි සංගීතය මා තමයි කළේ. කඩවුණු පොරොන්දුව තිරගත වෙන්න කලින් රන්මුතු දුව කළේ. නමුත් කඩවුණු පොරොන්දුව ඉස්සර වුණා. රන්මුතු දුවේ ”පාරමිතා බල.....” ගීතය ඉතාම ජනප‍්‍රිය වුණා. එම ගීතය රචනා කළේ මානවසිංහ මහත්තයා. එතුමා කිවුවා, මේ ගීතයේ මුල් පදයේ ගණ පිහිටීමත් ඉතා සුබයි කියලා. එදා විතරක් නෙවෙයි, අදටත් පන්සලක පින්කමක තොරණක දන්සලක මේ කොතැන වුණත් ”පාරමිතාබල” ගීතය ජනප‍්‍රියයි.
 

ප‍්‍රශ්නය - රන්මුතුදුව තිරගත වුණු පළවැනි දවසෙ මානවසිංහ මහත්තයා ගීතය වෙනස් කළාලූ නේද?
පිළිතුර -
චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයා මත්පැන් බිව්වා. එදත් පදමට බීල හිටියෙ. එදා ඔහු ලියපු ”වෙසක් පොහෝදින දිනූසේක ලොව..” පද අප‍්‍රමාණ ලෙස ගැසූ සේක අද මානවසිංහයාණෝ කියලා තනියම ගායනා කළා. අහගෙන හිටපු අයට හොඳට හිනා.
 

ප‍්‍රශ්නය - ඔබ සංගීතවත් කරපු චිත‍්‍රපට කීපයක් මතක් කරමුද?
පිළිතුර -
බොහොමයක් තියෙනවා. රන්මුතු දුව, රන්සළු, දෙලොවක් අතර, මඩොල්දුව, ගම්පෙරළිය, සාරවිට, තුංමංහන්දිය, අහස් මාළිගා, සාගර ජලය, තරංගා ඔය වගේ.
 

ප‍්‍රශ්නය - විශාරද නන්දා මාලිනී මහත්මිය වගේ බොහෝ අය චිත‍්‍රපට ගායන ශිල්පයට යොමු කළේ ඔබයි...?
පිළිතුර -
නන්දා මාලනී ගුවන් විදුලියේ ළමා පිටියේ ගීත කිවුවා. රන්මුතු දුව ගීතයකට ගැහැණු කටහඬක්  ඕන වුණා. මම නන්දා මාලනීගෙ කොටහේනෙ ගෙදරට ගිහින් ඒ ගීය ගායනා කරන්න එක්කගෙන ආවේ. එම ගීයෙ පිරිමි හඬින් ගායනය කළේ ගුවන්විදුලියෙ හිටපු නාරද දිසාසේකර. මොකක්ද දන්නවද ඒ ගීතය. ගලන ගඟකි ජීවිතේ.... (ගායනා කරයි)  නාරදත් චිත‍්‍රපටයකට ගැයූ මුල්ම ගීතය තමයි ඒක.
 

ප‍්‍රශ්නය - ඔබ ලීව පළවැනි ගීතය මොකක්ද?
පිළිතුර -
කොළඹ විශ්වවිද්‍යාලයේ ”සරසවි මේලා” කියලා ප‍්‍රසංගයක් තිබුණා. ඒකට ”ශාන්ත මේ රෑ යාමේ” ගීතය මම ලිවුවා. ඒ තමයි මම ලීව පළවැනි ගීතය.
 

ප‍්‍රශ්නය - ඔබ ගැයූ ගීත අතරින් කැමතිම ගීතයක් කියන්න පුළුවන්ද?
පිළිතුර -
අනේ කොහොම කියන්නද? හැම එකටම වගේ කැමතියි.
 

ප‍්‍රශ්නය - සංගීත ක්ෂේත‍්‍රය මොහොතක් පැත්තකින් තියමුකො. ඔබේ ආදරණීය බිරිඳ විමලා මහත්මිය මුණගැහුණ කතාව මොහොතක් කියමුද? ජීවිත කාලය පුරාම ගීතයක් වගේ ඔබේ ළඟින් හිටියෙ ඇයනෙ?
පිළිතුර -
විමලා.... ඇයත් ගීතයක් තමයි. ඇයත් ගීත ගායනයට දක්ෂයි. අපි හමුවුණේ මෙහෙමයි. දවසක් මම කලා භවන ළඟින් යනකොට ලස්සනට ගැමි ගී ගායනා හඬක් ඇහුණා.
”ගිරා මලිත්තෝ පැදුරේ වට වියනා” ගීතය හරි ලස්සනයි. මම ඉන්දියාවෙ ඉඳල ආවට පස්සෙ අහපු ලස්සනම හඬ. එදා මම කලාභවන ළඟින් නොයන්න අද විමලා මෙහෙ නෑ. මේ හමුවීම දෛවෝපගතයි. මට ඇය ගැන හිත ගියා. නමුත් එකපාරටම විවාහ වෙන්න යෝජනා කළේ නෑ. නමුත් පස්සෙ දවසක මම අදහස විමලාට කිවුවා. හඳහන් එහෙමත් බැලූවා. කේන්දර බැලූවා. විමලා දැනගත්තෙත් පස්සෙ. ඒ දවස්වල විමලා ජනකවි කියනවා. ගීත ගායනා කරනවා. නටනවා. ඇය නැටුම් ඉගෙන ගත්තෙ චිත‍්‍රසේන වජිරා ළඟ. කොල්ලූපිටියෙ චිත‍්‍රසේන කලායතනයේ. බණ්ඩාරනායක මහත්තයා 1959 ඉන්දියාවට ලංකාවෙන් සංස්කෘතික දුත පිරිසක් පිටත් කළා. එහි නර්තන අංශය භාරව ගියේ චිත‍්‍රසේන සහ වජිරා. සංගීත අංශය භාරව ගියේ මමයි, එඞ්වින් සමරදිවාකරයි. අපි යටතේ ගැහැණු හය දෙනකුයි, පිරිමි හය දෙනෙකුයි ශිල්පීන් ගියා. විමලා ගියේ චිත‍්‍රසේන යටතේ. නර්තන අංශය පැත්තෙන්. මේ ගමන අපේ සම්බන්ධකම තවත් අලූත් කළා.
මේ සංචාරයෙන් පස්සෙ මම චිත‍්‍රසේන සමඟ කරදිය සහ නළ දමයන්ති මුද්‍රා නාට්‍ය පෙන්වමින් ලෝකය පුරා ගියා.  ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර ඉඳන් විමලාට ලියුමක් එව්වා. 1962 අගෝස්තු 27 වැනිදා විවාහ වෙන්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව අපි දෙන්නා ඒ දවසෙ විවාහ වුණා. අපේ විවාහයට අත්සන් කළේ මහාචාර්ය සරත්චන්ද්‍ර සහ එච්.එම්. ගුණසේකර දෙපළ.
 
ප‍්‍රශ්නය - අමරදේව මහත්මා මැක්සාසේ සම්මානයෙන් පිදුම් ලැබූ කෙනෙක්...?
පිළිතුර -
ඔව් ඒක මට සතුටක්. මැක්සාසේ කියන්නෙ ආසියාවේ නොබෙල් ත්‍යාගය. පිලිපීනෙන් ඒ සම්මානය මට ලැබුණා කියලා දැනගෙනයි, මට ඉන්දියාවෙන් පද්ම ශ්‍රී සම්මානය පිරිනැමුවෙ.
 

ප‍්‍රශ්නය - කලාකරුවන් බොහෝදෙනෙක් දේශපාලනයට ගිහින් තියෙනවා. ඇතැම් අය කලාවෙන් ලද ජනප‍්‍රියභාවය දේශපාලනය සඳහා අතකොළුවක්, කරගෙන තියෙනවා. සම්භාවනීය කලාකරුවෙක් හැටියට ඔබට ඒ ගැන මොකද හිතන්නෙ...?
පිළිතුර -
කලාකරුවාට දේශපාලන පක්ෂයක්, පාටක් අවශ්‍ය නෑ. ඔහුට කවුරුත් ගරුකරනවා. ඒ නිසා කලාකරුවන් දේශපාලනය කරන එකට මගේ පැහැදීමක් නෑ.
 

ප‍්‍රශ්නය - ඔබ බෞද්ධාගමිකයෙක්. රටට ජාතියට මහා මෙහෙවරක් කරපු සංගීතඥයෙක්. වාදන ශිල්පියෙක්. ඒ වගේම බොහොම නිහඬ නිශ්ශබ්ද කෙනෙක්. ඔබේ දර්ශනය කුමක්ද?
පිළිතුර -
මම බෞද්ධ දර්ශනයට තදින් ගරු කරනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙ මට සම්මානයක් දෙන වෙලාවේ මම ළඟ හිටියා ඬේවිඞ් කළුපහන. මම ඬේවිඞ් කළුපහනගෙන් ඇහුවා, බුද්ධ දර්ශනය සැකෙවින් කෙටියෙන් මට කියන්න කියලා. ඒ වේලාවෙ එතුමා කරුණු තුනක් මට කිව්වා. ඔහු විතක්ක තුනක් කිව්වා.
ජාති විතක්ක, ජනපද විතක්ක, අනවජ්ජ විතක්ක. ජාති විතක්ක කිවුවේ මම අසවල් ජාතියෙ, මට අනික් ජාතින් වැඩක් නෑ. කියලා හිතන එක. ඒක වැරදි දෙයක්. ජාති වශයෙන් බෙදී තර්ක කරලා වැඩක් නෑ. ජනපද විතක්ක කිවුවේ, මේ මගේ ජනපදය. මේ ජනපදයට වෙන කාටවත් එන්න දෙන්නෙ නෑ. එහෙම හිතලා ප‍්‍රදේශ වශයෙන් බෙදී සිටීම වැඩක් නැති දෙයක් බව.
ඊළඟට අනවජ්ජ විතක්ක. බොහෝදෙනා හිතනවා සියල්ල දත් කෙනා මමයි. අනික් අය මට වඩා පහළයි කියලා. ඒකත් වැඩකට නැති දෙයක්. තමන්ට වැඩකුත් නෑ අනුන්ට වැඩකුත් නෑ.
අප හැමෝම මිනිස්සු. අප හිතන්නෙ  ඕනෙ එහෙමයි. මගේ දර්ශනය තමයි මේ.
 

ප‍්‍රශ්නය - ජීවිතේ සැඳෑ සමයට ඇවිත් අද ජීවිතේ ආපසු හැරී බලද්දි මොකද හිතෙන්නෙ...?
පිළිතුර -
කාටවත් කරදරයක් නොවී ජීවත් වුණා. තව ටික කාලයක් ඉඳීවි. තවත් කාලයක් කායික ශක්තියෙන් ඉන්න තිබුණා නම් තව බොහෝදෙයක් කරන්න තිබුණා කියලා මට හිතෙනවා. ඒත් ඉදිරියට බය නැතිව මුහුණ දෙනවා. මගෙන් වියයුතු දේ වුණා කියලා මා හිතනවා. මේ දවස්වල මම අලූත් වැඩක් කරනවා. කැමති අයට එන්න පුළුවන්, බලන්න.
 

ප‍්‍රශ්නය - මොකක්ද ඒ අලූත් වැඬේ..?
පිළිතුර -
සංගීතය ඉගෙනගන්න අයට සුභාවිත ගීතයට උනන්දුව දක්වන හැමෝටම වැඩමුළුවක්. තමන්ට සංගීතය පිළිබඳව තියෙන ගැටලූ අහන්නත් පුළුවන්... මේ නොවැම්බර් 22 වැනිදා සවස 6.00 සිට 8.00 දක්වා බී.එම්.අයි.සී.එච්. හි කමත ශාලාවේ තියනවා. මමයි, පුතා රංජන අමරදේවයි කරන්නෙ. මගේ ගීතත් ඔබට අහන්න පුළුවන්. මා සමග කතා කරන්නත් පුළුවන්. ඒක සංගීත ප‍්‍රසංගයක් නෙවෙයි. වැඩමුළුවක්. එන අයට 0713388057 දුරකථනයට කතා කරලා විස්තර ලබාගන්න පුළුවන්.
 

ප‍්‍රශ්නය -  අමරදේව මහත්මා ඔබේ පවුලේ අයත් මතක් කරමුද?
පිළිතුර - ඔ
ව් මගේ බිරිඳ විමලා. ඒ වගේම පුතා රංජන, දියණියන් දෙදෙනයි. ප‍්‍රියංවදා සහ සුභාණි. දැන් මම මුත්තනුවෙක්.
ශාන්ත මේ ? යාමේ, පීනමුකෝ කළු ගෙඟ්, බඹරකු ආවයි නිරිත දිගේයා, බින්දු බින්දු රන් ගෝමර මාලා, ඉරහඳ පායන ලෝකේ, පාරමිතා බල, මුණි සිරිපා සිඹිමින්නේ, අඩවන් වූ දෙනෙතින් ගලනා, පිපී පිපී රේණු නටන, මින්දද හීසර, හීන හතක් මැද, පෙර දිනයක මා පෙම්කළ යුවතිය, ආදී සියක් දහසක් ගී ගැයූ මේ මහා ගාන්ධර්වයාණන්ගෙන් සමුගන්නට මට කල් එළැඹිණි. සංගීතයෙන් අගතැන්පත්, පණ්ඩිත් අමරදේවයන් පිළිබඳව ඇස හැරිය යුත්තන් තවත් ඇස හැරිය යුතු බව අපගේ හැඟීමයි. සමුගන්නට පළමුව තවත් ගී පදයක් අප වෙනුවෙන් ගයන්නට ඔහු අමතක නොකළේය.

”සසර වසන තුරු
නිවන් දකින තුරු
පින්කෙත හෙළ රන් දෙරණේ
යළි උපදින්නට
හේතු වාසනා වේවා... හේතු වාසනා”

 
 


උපුටා ගැනීම - ඉරිදා ලංකාදීප පුවත් පත 2013-11-10
 

No comments:

Post a Comment