හෙළ ගීතයේ අමරණීය හඬ..


සංගීතඥයාගේ භාව ප්‍රකාශනය හරහා සහෘද හදවත මනෝරංජනය කළ හැකි නම් ද ඔහුගේ ප්‍රඥාව නමැති මනෝභාවයන් හි නිම් වළලු කිරීමට හැකියාවක්‌ ඇත්නම් ද එමෙන්ම නිර්මාණාත්මක පරිචයේ විවිධ හැඩතල ඇසුරින් පුද්ගලයාගේ ජීවිතය සුපුෂ්පිත කළ හැකි නම් ද හෙතෙම සැබෑ කලාකරුවකු වන්නේමය. අනන්ත විශ්වයේ සැරිසරන නාද මාලාවන් සියුම් ලෙස ස්‌පර්ශ කරමින් එහි රස භාවයන් නිර්මාණාත්මක ලෙස පෙළ ගැස්‌වීමෙහිලා පිරිපුන් සංගීතඥයකු සතු ශක්‌තිය ලොව වසන වෙනත් කිසිදු නිර්මාණකරුවකුට හිමි නොවන්නා සේ ම එහි නියම රස භාවයන් සැබෑ ලෙස හඳුනා ගැනීමට සහෘද හදවතකට හැකියාවක්‌ තිබිය යුතුය. එහෙත් මෙම ද්වී කාර්ය සරල කාර්යයක්‌ නොවන්නේමය. රසිකයා ද නිර්මාපකයා ද එක විට සහෘදයකු වන මොහොත වාසනාගුණය ඇසුරෙහි බිහිවන උත්තම මනෝභාවයකි. පණ්‌ඩිත් අමරදේව යනු එම වාසනා ගුණය ද සතතාභ්‍යාසයෙන් ළඟා කරගත් නිර්මාණ පරිචය ද ව්‍යqත්පත්ති ගුණයෙන් පෝෂණය වූ සංගීත ඥානය ද යන ත්‍රිවිධ අංශයන් හි විපුල ඵල නෙළාගත් නිර්මාණකරුවෙකි. ඔහුගේ නිර්මාණ රස විඳින අප ද එවැනිම වාසනා ගුණය හිsමිකරගත්aතෝ වෙති. මන්ද අපගේ ජීවිත තවමත් ඔහුගේ ගීත ඇසුරෙහි පෝෂණය වන බැවිනි.

සිය භාවාත්මක කටහඬින් පමණක්‌ නොව විපුල සංගීත ඥානයෙන් ද දශක ගණනාවක සිට රසිකයන්ගේ හදවතටත් බුද්ධියටත් කරනු ලබන ආමන්ත්‍රණය සෑම විටම පාහේ සුමියුරු නාද මාලාවන් හරහා සන්නිවේදනය විය. සරල ගීතයෙහිද, ගුවන් විදුලි ගීත නාටකයෙහි ද, මුද්‍රd නාට්‍යයෙහිද, වේදිකා නාට්‍යයෙහි ද, චිත්‍රපට සංගීතයෙහි ද ජන සංගීතයෙහි ද, සංගීත පර්යේෂණයන් හිදී පැතිරී ගිය අමරදේවයන්ගේ ප්‍රතිභාව නිර්මාණාත්මක ලෝකය එළිය කරවීය. සරල ගීතය එහි සරල සීමාවෙන් ඔබ්බට රැගෙන යමින් එය සුභාවිත ගීතයක්‌ බවට පත් කිරීමෙහිලා අමරදේවයන් විසින් සිදුÊකරන ලද සේවය එතෙක්‌ මෙතෙක්‌ ශ්‍රී ලාංකික සංගීතඥයකු විසින් සිදුකරන ලද මහා ප්‍රයත්නයක ප්‍රතිඵලයක්‌ම විය. ජන ගායනා, මධුවන්ති, රස මියුරු, විජය ගීත, ස්‌වර්ණ වර්ණ වැනි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාව නිෂ්පාදනය කරන ලද සංගීත වැඩසටහන් ඇසුරෙහි මූලික වශයෙන් බිහි වූ අමරදේවයන්ගේ සුභාවිත ගීතය පසු කාලීන නිර්මාණකරුවන් හට ලබා දුන් ආලෝකය ඉතා විශාලය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සුභාවිත ගීතයේ හැඩ තල මෙන්ම වර්ණය ද තව තවත් ඔපවත් විය. එමෙන්ම ඔහුගේ මුල් කාලීන නිර්මාණ මෙන් ම පසු කාලීන නිර්මාණයන් ද රසිකයන්ගේ නොමඳ වින්දනයට පාත්‍ර වූ අතර, එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔවුන්ගේ වින්දන මට්‌ටම් තුළ ද ඇති වූයේ ප්‍රසාරණයකි. එහෙයින් සිංහල බස සතු ශක්‍යතාව ද වනි පූර්ණ බව ද පිරිපුන් සංගීත සංයෝජනයක්‌ ඇසුරෙහි බිහි වූ අමරදේවයන්ගේ හඬ පරාසය ද ගායන මාධූර්යය ද රසිකයාගේ වින්දනීය අවකාශය පුළුල් කරන ලද ගීතාත්මක ප්‍රකාශනයක්‌ ම විය. ප්‍රේම ගීතය ද ප්‍රිය විප්පයෝගය ද ඉතා සෞන්දර්යාත්මක වටපිටාවක්‌ ඇසුරෙහි බිහිකරන ලද ඔහු ගීතයෙහි ප්‍රස්‌තුතය කුමක්‌ වුව එය සැබෑ නිර්මාණාත්මක පසුතලයක බිහිකිරීමට සමත් වේ.

දේශීය මුද්‍රd නාටක සංගීතයෙහි ද කඩඉමක්‌ සටහන් කරනු ලබන අමරදේවයන් 'රාවණා', 'චණ්‌ඩාලි', 'සාම විජය', 'සැළලිහිනිය', පුෂ්පශෘංගාරය', 'තිත්ත බත' යන මුද්‍රd නාටකයන් හි සංගීතය මෙහෙයවමින් එම මුද්‍රd නාටකයන්හි ජීවමය ගුණය අලංකාරයෙන් පුරවා දැමීය. චිත්‍රසේන - වජිරා නිර්මාණය කරන ලද 'කරදිය' ඉඟි නළුව අමරදේවයන්ගේ මුද්‍රd නාටක සංගීතයෙහි විශිෂ්ට කඩඉමක්‌ වූ අතර 'නල දමයන්ති' ඉඟි නළුව, මුද්‍රd නාටක සංගීතයෙහි අමරදේවයන්ගේ කූටප්‍රාප්තිය සටහන් කරයි. 'කරදිය' මුද්‍රd නාටකය සඳහා ඔහු නිර්මාණය කරන ලද 'මහ මුහුදේ ඈත ඉඳන්' ගීතය එම මුද්‍රd නාටකයෙහි සමුදාර්ථය කැටිකොට ගත් සාර්ථක ගීතයකි. එම ගීතය තුළ ධීවර ජනයාගේ ජීවන තත්ත්වය මෙන්ම එහි යථාරූපී පසුබිම සැබෑ ලෙස දෘෂ්‍යමාන කිරීමට අමරදේවයන් දක්‌වා ඇති සංගීත පෙළහර නිර්මාණාත්මක සංගීතඥයකුගේ සැබෑ කෞෂල්‍යය විදහා දක්‌වයි. 'නල දමයන්ති' මුද්‍රd නාටකය සඳහා ඔහු නිර්මාණය කරන ලද "ඈත කඳුකර හිමව් අරනේ" ගීතය මහගම සේකරයන්ගේද, අමරදේවයන්ගේද සුසංයෝගයෙහි අග්‍ර ඵලයකි. ඉතා විදග්ධ සංගීත සංයෝජනයක්‌ ඇසුරෙහි බිහිවන අමරදේවයන්ගේ මෙම ප්‍රතිභාපූර්ණ ගායනය, බසෙහි ද සංගීතයෙහි ද ගායනයෙහි ද ඔහු සතු වෙසරද භාවය කදිමට චිත්‍රණය කරයි.

මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ 'පබාවතී' වේදිකා නාට්‍යයෙන් ඇරඹි අමරදේවයන්ගේ වේදිකා නාට්‍ය සංගීතය එතැන් පටන් සරච්චJද්‍රයන්ගේ 'වෙස්‌සන්තර', 'ලෝමහංස්‌, 'බවකඩතුරාව' යන වේදිකා නාට්‍ය ඇසුරෙහි පෝෂණය වූ අතර මේ සෑම වේදිකා නාට්‍යයකම අමරදේවයන් නිර්මාණය කරන ලද මිහිරි තනු එම නාටකයන් හි සාර්ථකත්වයට එකහෙළා දායක විය. ගුවන් විදුලි ගීත නාටක සඳහා ද අමරදේවයන් නිර්මාණය කරන ලද ගීත ඒ හා සමානව පිරිපුන් නිර්මාණයන් විය. 'ප්‍රේම තටාකේ' ගීතය ඒ අතර සුවිශේෂී වේ.

චිත්‍රපට සංගීතයෙහිලා අමරදේවයන්ගේ දායකත්වය ද ඉතා පුළුල් වපසරියක විහිදී පවතී. 'රන්මුතුදූව', 'ගම්පෙරළිය', 'තුංමං හන්දිය' 'සාගර ජලය' ඇතුළු තවත් චිත්‍රපට රාශියක්‌ සඳහා එළිදැක්‌වුණු අමරදේවයන්ගේ චිත්‍රපට සංගීතය ද එකී චිත්‍රපට වෙනුවෙන් නිර්මාණය කරන ලද චිත්‍රපට ගීත සමුදාය ද සිංහල ගීත සාහිත්‍යය තුළ කැපී පෙනේ. එමෙන්ම අමරදේවයන් වෙනත් චිත්‍රපට සංගීතඥයන් යටතෙහි ගායනා කරන ලද චිත්‍රපට ගීත එම චිත්‍රපටවලට ලබා දුන්නේ ඉතා විශාල වටිනාකමකි. 'සත් සමුදුර' චිත්‍රපටයෙහි ගැයෙන "සිනිදු සුදු මුතු තලාවේ"Êගීතය පමණක්‌ වුව එයට සෑහේ. 'ශ්‍රී පතුල' චිත්‍රපටය වෙනුවෙන් ගයනු ලැබූ 'සතර සතිපට්‌ඨානය' ද 'සිරිබෝ අයියා' චිත්‍රපටය වෙනුවෙන් ගයන ලද කවි පංති හරහා ද විද්‍යමාන වනුයේ චිත්‍රපටයෙහි දෘශ්‍ය රූපය සතු ගැඹුර තීව්‍ර කිරීමට ඔහුගේ හඬට ඉතා ප්‍රබල හැකියාවක්‌ ඇති බවයි.

ජන කවියෙහි ආභාෂය අමරදේවයන්ගේ නිර්මාණ සඳහා කරනු ලද බලපෑම අති විශාලය. ජන කවිය ද එහි නාද රටාව ද එයට හිමි සීමිත ස්‌වර සංගතිය ඉක්‌මවා විසල් සංගීත පරාසයක එළි දැක්‌වීමට ඔහු දැක්‌වූ උත්සාහ ඉතා සාර්ථකය. සීපද ගායනා ඇසුරෙහි බිහිවන "පිලේ පැදුර හේනට අරගෙන එනවා" ගීතය, බලි තොවිල් නාද මාලාව ඇසුරෙහි බිහිවන "බඹරෙකු ආවයි" ගීතය රන් තෙළඹුවේ කවි ඇසුරෙහි බිහිවන "ඔබේ නමින් සෑය බඳිමි" ගීතය ජන ගීයෙහි ආභාෂය ලැබූ "බඹර පැටික්‌කී" "රන්වන් රන්වන් මගෙ රන් කිකිළී", "මිහිරියේ ගැමි ලඳේ", "කැලේ ගහක මල් පිපිලා" යන ගීත ඇතුළු තවත් බොහෝ ගීත මේ සඳහා දැක්‌විය හැකි උදාහරණයන් ය. වැදි ගී සම්ප්‍රදාය ඇසුරෙහි බිහිවන "චන්දොa මා බිළිඳේ" ගීතය රබීJද්‍ර සංගීතය ඇසුරෙහි බිහිවන "පටු අදහස්‌ නම් පවුරින්" ගීතය සරෝජිනී නායිදු කිවිඳියගේ පද වැලෙහි ඡායානුවාදයක්‌ ලෙස බිහිවන "සන්නාලියනේ" ගීතය අමරදේවයන්ගේ නිර්මාණ ගොන්නෙහි දැකිය හැකි සුවිශේෂී ගීත සඳහා නිදසුන්ය. එමෙන්ම බුදු ගුණ ගීතයෙහි විචිත්‍රත්වය සිංහල ගීත සාහිත්‍යය තුළ නොයෙක්‌ දෘෂ්ටිකෝණයන්ගෙන් විචිත්‍රවත් වුවද, බුදුගුණ ගීතය හරහා මතු වූ සාහිත්‍යමය රස පෝෂණය විදග්ධ භාෂාමය වපසරියක පැතිර ගියේ අමරදේවයන්ගේ වටිනාකම පැහැදිලි ලෙස සනිටුහන් කරමිනි. දේශාභිමානී ගීත තුළ ද නිම්නාද වූයේ එවැනිම වටපිටාවකි.

ළමා ගීත සාහිත්‍යයක්‌ බිහි කිරීමෙහිලා අමරදේවයන් ගත් උත්සාහය සැබවින් ම ප්‍රශස්‌තය. 'සඳපානේ වැලිතලා', 'මනකල් හද විල් ජලයේ', 'වැහි කුමරිය ටිකක්‌ කළුයි' යන ගීත හරහා නිම්නාද වූයේ ළමා මනස සුවපත් කරන්නා වූ හැඟීම් සමුදායකි.

ගී පද රචකයන්ගේ පද සංඝටනාව තුළ ගලායන බසෙහි ඇති ජීව ගුණය ද එහි නාද මාධූර්යය ද සිය නිසඟ ප්‍රතිභාවයෙන් ආලෝකවත් කරනු ලබන අමරදේවයන් ඒ හරහා බිහිකරනු ලබන භාවාත්මක වූද, සෞන්දර්යාත්මක වූද, ලෝකය සැබවින් ම සුවදායකය.

චිරං ජයතු!



උපුටා ගැන්ම -  අමරදේවයන්ගේ 85 වැනි ජන්ම දිනය නිමිත්තෙන් සුලෝචන වික්‍රමසිංහ   දිවයින පුවත් පතට සැකසූ ලිපියකි ( http://www.divaina.com/2012/12/06/sarasavi%205.html)

No comments:

Post a Comment